සතොසෙ මිලියන 100ක වංචාව කළේ බදියුදීන්! – සතොස හිටපු සභාපති… මම ළඟ දූෂිතයෝ වංචාකාරයෝ නෑ! – සජිත් ප්‍රේමදාස

October 3, 2019 at 10:56 am | by emanisa.lk

සතොසට ගෙන්වන ලද ආනයනික සහල් තොග සම්බන්ධයෙන් සිදුවූ මිලියන 100ක මූල්‍ය වංචාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සම්පූර්ණයෙන් වගකිව යුතු බව හිටපු සතොස සභාපති කිරාන් අතපත්තු 2015-2018 රජයේ වංචා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැවසීය.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සතොස හිටපු සභාපති ඊයේ (2) සාක්ෂි ලබාදීම සිදුකළේය.

එහිදී ඔහු කියා සිටියේ සහල් ආනයනය කරනු ලැබූ ‘ලිවර් පූල් නැවිගේෂන්’ යන ආයතනයට නීත්‍යනුකූල නොවන ලෙස ඔහුගේ අනුමැතියකින් තොරව රුපියල් මිලියන 100 ක මුදලක් ලබාදී ඇති බවය.

2015 වර්ෂයේදී මෙට්‍රික් ටොන් ලක්ෂයක සහල් ප්‍රමාණයක් මෙරටට ආනයනය කොට ඇති අතර, මෙම සහල් ගෙන්වීම සම්බන්ධ ණයවර ලිපිද කල් ඉකුත්ව තිබූ බව ඔහු කොමිසම හමුවේ පැවැසීය. නමුත් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ආනයනික සහල් තොග සම්බන්ධයෙන් අමාත්‍යාංශ කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැතුණ බවත් එහිදී ඔහු ණයවර ලිපි දීර්ඝ කරන ලෙස නිලධාරීන්ට නියෝග කළ බවද පැවැසීය.

එහිදී තමා එසේ ණයවර ලිපි දීර්ඝ කිරීම ප්‍රතික්ෂේප කළ බවද සතොස හිටපු සභාපති කිරාන් අතපත්තු පැවැසීය. නමුත් අමාත්‍යවරයා තමා නොමැති අවස්ථාවකදී එම ණයවර ලිපි දෙක දීර්ඝ කර තිබූ බවද කිරාන් අතපත්තු කොමිසම හමුවේ පැවැසීය.

කෙසේ වුවද මූල්‍ය ගැටලුවක් මත ලංකා සතොස ආයතනයට එම ආනයනය කරන ලද සහල් තොග නිෂ්කාශනය කර ගැනීමට නොහැකි වූ බවද සතොස හිටපු සභාපතිවරයා පැවැසීය.

එම කාලයේ අදාළ සහල් තොගය නිෂ්කාශනය කරගන්නා ලෙස ලිවර් පූල් නැවිගේෂන් යන ආයතනයෙන් තමාට ලිපි ලැබුණ බවද ඔහු කියා සිටියේය. ඒ අනුව රුපියල් මිලියන 65 ක් මුදල් ගෙවා ලිවර් පූල් නැවිගේෂන් ආයතනයෙන් සහල් නිශ්කාශනය කරගත් බව ඔහු සඳහන් කළේය.

පසුව මෙම සහල් ලබාගත් පාරිභෝගිකයන් මිලියන 86 ක මුදලක් ගෙවීමට තිබියදී එම මුදල නොගෙවා රුපියල් මිලියන 549 ක මුදලක් ලිවර් පූල් නැවිගේෂන් ආයතනයට යළි ගෙවන ලෙසත් ඇමැති රිෂාඩ් බදියුදීන්ගේ මහජන සම්බන්ධතා නිලධාරී අබ්දුල්ලා නමැත්තා පැවැසූ බවත් සභාපතිවරයා මෙහිදී කියා සිටියේය. නමුත් තමා එය ප්‍රතික්ෂේප කළ බවද හෙතෙම පැවැසීය.

එසේ ප්‍රතික්ෂේප කර සිටි කාලයේදී තමා රෝගී වී රෝහල් ගත වුණු බවත් එම අවස්ථාවේදී සතොසට වැඩ බලන සභාපතිවරයකු පත්කොට ලිවර් පූල් නැවිගේෂන් ආයතනයට රුපියල් මිලියන 100 ක මුදලක් අමතර ගෙවීමක් ලෙස ගෙවා ඇති බවද සතොස හිටපු සභාපතිවරයා පැවැසීය.

මෙය නීති විරෝධී මුදල් ගෙවීමක් බව පැවැසූ සතොස හිටපු සභාපති කිරාන් අතපත්තු කොමිසම හමුවේ කියා සිටියේ මෙම වංචා සහගත මූල්‍ය ගනුදෙනුවට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ වැඩ බලන සතොස සභාපතිව සිටි එස්. එස්. වියල්විල සම්පූර්ණයෙන් වගකිව යුතු බවය.

මේ අතර සජිත් ප්‍රේමදාස සඳහන් කළේ තමා සමග හොරු දූෂියතයන් වංචාකාරයන් නොමැති බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස