ශ්‍රීලනිපය රැකගන්න බවට දිවුරා සපථ කළ කඩුවෙල බුද්ධදාස එජාපයට!

September 21, 2019 at 3:12 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.

ඔහු කොළඹ අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී එජාපයට සිය සහාය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබේ.

මෙම පුවත එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් ද තහවුරු කළේය.

පහත දැක්වෙන්නේ කඩුවෙල හිටපු නගරාධිපතිවරයා ටික කලකට සිදු කළ කතාවකි.

ඒකාබද්ධය එජාපයට බලය දෙන අඩිතාලම දමනවා – හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස

ශ්‍රීලනිපයට එක්‌වන්න යෑයි ඒකාබද්ධයෙන් ඉල්ලනවා

පියදාස රණසිංහ

“මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‌ෂයට බලය ලබාදෙන අඩිතාලම දාන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය දෙකඩ කර ගෙන මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයාගේ නායකත්වයෙන්, පොහොට්‌ටුවෙන් මැතිවරණයට එන ඒකාබද්ධ විපක්‌ෂ කණ්‌ඩායමයි. එහෙම වුණොත් ඒකෙ ප්‍රතිවිපාක ඡන්දයෙන් පස්‌සෙ කාට කාටත් තේරේවි.

ඒ නිසා මා ඉල්ලා සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දැත් දිගු කළා වගේ ඒකාබද්ධ විපක්‌ෂය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය එක්‌ක ඒකාබද්ධ වන්න කියලා” යෑයි කඩුවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජී. එච්. බුද්ධදාස මහතා මාලබේදී පැවැති මාධ්‍ය හමුවකදී එසේ ප්‍රකාශ කළේය.

මාලබේ පිහිටි කඩුවෙල මැතිවරණ කොට්‌ඨාසයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ආසන බල මණ්‌ඩල මූලස්‌ථාන කාර්යාලයේ පසුගියදා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ පළ කළ ජී. එච්. බුද්ධදාස මහතා,

” මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිතුමා හිතන්නෙ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට දේශපාලන ලකුණක්‌ නැහැ කියලද? ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නිර්මාතෘ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ කාලයේ ඉඳලම තිබුණෙ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නිල ලාංඡනය වන අත ලකුණ මිසක පෙහොට්‌ටුවක්‌ නොවෙයි. එදා මහින්ද රාජපක්‌ෂ මහත්තයාගේ තාත්තා හිටියෙ කොහෙද? එක්‌සත් ජාතික පක්‌ෂයෙ. තාත්තට හොඳ නම් පුතාට නරක වන්නෙ කොහොමද? දැන් ඒවා මතක නැහැ.

” මහින්ද රාජපක්‌ෂ මහත්තයා එදා ඉඳලම කළේ බණ්‌ඩාරනායක නාමය නැති කිරීමයි. අද මහින්ද රාජපක්‌ෂ මහත්තයටත්, බැසිල් රාජපක්‌ෂ මහත්තයටත් සල්ලි බිලියන ගණන් තියනවා නඩුවලට වියදම් කරන්න ඡන්දෙ පවත්වන්න.”

” අද විමල් වීරවංශ උන්නැහේ දේශපාලන භූමියේ නන්නත්තාර වෙලා. මේ පළාත් පාලන ඡන්දයට මුහුණ දෙන්න ජනතාවත් අද බයයි. ඒ මහින්ද මහත්තයයි, යූඑන්පී එකයි අතරෙ ඩීල් එකක්‌ තියන හින්දා.

මේ ඩීල් දැමීමට හොඳ කාලයක්‌ නොවෙයි. මහින්ද මහත්තයාගෙන් අපි දෙයියන්ගේ නාමයට ඉල්ලා සිටින්නේ අවසාන මොහොතේ හරි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයත් එක්‌ක එකතු වෙලා පොදු හතුරා පරාජය කරන්න කියලයි.

අපි මෛත්‍රිපාල සිsරිසේන ජනාධිපතිතුමාගේ පක්‌ෂයෙන් පළාත් පාලන මැතිවරණයට තරග කරන්නේ පොදු හතුරා පරාජය කරන්න. මේ මැතිවරණයට අපි ඉදිරිපත් වුණේ හොඳ ආත්ම ශක්‌තියක්‌ ඇතිව කඩුවෙල ආසනයේ පවතින දේශපාලන වටාපිටාවේ අද පවතින සත්‍ය – අසත්‍ය බව අවබෝධ කර ගෙන.

“දේශපාලන ඉතිහාසයේ පතාක යෝධයෙක්‌ වන මහින්ද රාජපක්‌ෂ මහත්තයා එක්‌ක එල්ලිලා ඉන්න කූඩැල්ලෙක්‌ වගේ තමයි විමල් වීරවංශ කියලා මං හිතන්නෙ. විමල් වීරවංශගේ ජාතික නිදහස්‌ පෙරමුණ ඇතුළෙ සමහරු ඉවත් වෙලා. විමල් වීරවංශ දේශපාලන ලෝකයේ නන්නත්තාර වෙලා.”

” මම අභියෝගයක්‌ කරනවා විමල් වීරවංශට ජාතික නිදහස්‌ පෙරමුණ කණ්‌ඩායමෙන් ඇවිල්ලා මාත් එක්‌ක කඩුවෙලට තරග කරලා පුළුවන් නම් දිනන්න කියලා. ජාතික නිදහස්‌ පෙරමුණ අද කුලල් කා ගන්නවා. මම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය රැක ගන්න කැප වෙලා කටයුතු කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස