ජාතික ආණ්ඩු යෝජනාව කල් ගියේ ශ්‍රීලනිප 6ක් මග ඇරි නිසායි!

February 10, 2019 at 2:40 am | by admin

ස්ථාවර නියෝග පවා අත්හිටුවා ආණ්ඩුව කඩිමුඩියේ බ්‍රහස්පතින්දා (07) පාර්ලිමේන්තුවට ගෙන ඒමට සිටි, ජාතික ආණ්ඩු යෝජනාව කල් දැමුනේ, ශ්‍රීලනිපයෙන් සහයෝගය දැක්වීමට පොරොන්දු වී සිටි පිරිස මඟ හැරීම නිසා බව වාර්තා වේ.

බදාදා (06) පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒකාබද්ධ විපක්ෂය, ජවිපෙ සහ ටීඑන්ඒ දැඩි ලෙස විරෝධ්‍ය පළ කරමින් ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව සකසා ඇති න්‍යාය පත්‍රය වෙනස් කර, ස්ථාවර නියෝග අත්හිටුවා ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් නොකර, නියමිත ක්‍රමවේදයට ඉදිරියේදී එය ගෙන එන ලෙසයි. කතානායකවරයා මෙහිදි පවසා ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කටයුතු කිරීම වඩාත් උචිත බවය. එහෙත් ඊට එකඟ නොවූ එජාප නියෝජිතයන් බ්‍රහස්පතින්දා (07) අනිවාර්යයෙන් යෝජනාව ගෙන එන බව ප්‍රකාශ කර තිබේ.

එහෙත් පැය කිහිපයකට පසු, අරලියගහ මන්දිරයේ පැවති එජාපයේ ඉහළ පෙළේ රැස්වීමකදී එම යෝජනාව ඊළඟ පාර්ලිමේන්තු සතිය දක්වා කල් දැමීමට තීරණය කර ඇත. එජාපෙ ආණ්ඩුවට දැනට සහය දක්වන ශ්‍රීලනිප 6 දෙනා හැරුණු විට තවත් 5 දෙනකු හෝ 6 දෙනකු ආණ්ඩුවට එක් වීමට මීට පෙර ලබා දී තිබු පොරොන්දුව පිළිබඳ අවිනිශ්චිතතාවක් ඇති වීමත්, ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවට ඡන්දයක් පැවැත්වුවහොත්, එය පරාජය වීමේ අවදානමත් නිසා, මෙම තීරණය ගෙන ඇතැයි දැනගන්නට ඇත.

කැබිනට් ආමාත්‍යධුර ගණන 48 දක්වාද කැබිනට් නොවන අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 දක්වාද ඉහළ නංවා ගැනීම සඳහා මෙම ජාතික ආණ්ඩු යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

රාවය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස