රාජපක්ෂලා කීප දෙනෙක් හිරේ දැම්මා නම් ආණ්ඩුව ගොඩ! එහෙම ගටක් නැත්නම් එජාපයට දිනන්න බෑ! – එජාප කොළඹ ඇමති ප්‍රබලයාගේ හඬ පටයක් එළියට.. (Audio)

August 26, 2019 at 9:49 am | by emanisa.lk

පසුගිය කාලය තුළ රාජපක්ෂලා හය හත් දෙනෙකු හිරේ දැම්මා නං අද එක්සත් ජාතික පක්ෂය ගොඩ බවත් එක්සත් ජාතික පක්ෂයට ඉදිරියට යාම සඳහා හොඳ ගටක් අවශ්‍ය බවත් එය ලබාදෙන ලෙසත් සජිත් පිළේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබලයෙකු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ප්‍රකාශ කරන අවස්ථාවේදී පටිගත කරන ලද හඬපටයක් සමාජ මාධ්‍යජාලාවල මේ වන විට පැතිර යයි.

මහ බැංකුවේ බැඳුම්කර වංචාව පිළිබඳ චෝදනාවෙන් දෙවැනි කෝප් කමිටුවේ දී ආණ්ඩුව බේරගත්තේ තමා විසින් බවත් පක්ෂය වෙනුවෙන් තමා ඊට බෙල්ල දුන් බවත් මෙම දේශපාලනඥයා එහිදී ප්‍රකාශ කරන අතර තවත් රහස් තොරතුරු රැසක් ද ඔහුගේ කටහඬින්ම මෙහි පටිගත වී තිබේ.

මහ බැංකු අධිපති ලෙස අර්ජුන් මහේන්ද‍්‍රන් පත් කිරීමට තමන් විරුද්ධ වූ බවත් පසුව ඇති වූ බැදුම්කර චෝදනාවේදී තමන් පක්‍ෂය වෙනුවෙන් බෙල්ල දුන් බවත් ඔහු අගමැතිවරයාට සිහිපත් කරයි. එසේම රවී කරුණානායක තමන්ගේ ප්‍රබල දේශපාලන සතුරකු වුවත් ඔහුට එරෙහිව නැඟුණු සියලු චෝදනාවවල දී තමන් නිහඬව පක්ෂය වෙනුවෙන් කටයුුතු කළ බවත් හෙතෙම පවසයි.

කෙසේ වුවද නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ඔහු එහි දී ඉල්ලා සිටින්නේ නැත. එහෙත් මේ අවස්ථාවේ සජිත් පාර්ශවයට එරෙහිව විනය පරීක්ෂණ තැබීමට එරෙහිව ඔහු මෙහිදී කරුණු දක්වනු දැකිය හැකිය. මේ අවස්ථාවේ පක්ෂයට ගටක් උවමනා බවත් එසේ නොවුණහොත් එළඹෙන මැතිවරණවල දී පක්ෂයට ජයගත නොහැකි බවත් ඔහු පවසයි.

මේ හඬ පටය ඇමති සුජීව සේනසිංහගේ බව සමාජමාධ්‍යවල පවසා තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස