සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක විසින් සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් පහත දැක්වෙයි.
“තම්බපවනී විජයගේද ? මහින්දගේ ද ?
තම්බපවනී 100MW සුළං විදුලි බලාගාරය විවෘත විය. මන්නාරමේ වූ මෙම බලාගාරය 2014 දී මහින්ද රාජපක්ෂ පාලනය විසින් ආරම්භ කරන ලද්දක් ලෙස ප්‍රචාරය කරමින් ඇත. මෙය පළමු පද්ධති සම්බන්ධිත බලාගාරය ලෙස ද ප්‍රකාශ වේ. ඒ කරුණු දෙකම වැරදිය. තම්බපන්නියේ ගොඩනගන ලද මෙම බලාගාරය විජයගේ පරපුරේ ද ? නැත්නම් මහින්ද රාජපක්ෂ පරපුරේ ද ?
මෙහි ඉතිහාසය 2014 දී ආරම්භ වූවක් නොවේ. දශක දෙකකට වැඩි කාලයක් දිවයන්නකි. පළමුව ලංකාවේ සුළං බලයේ විභවය ගැන අධ්‍යයනයක් කර සිතියම් ගත කළේ එක්සත් ජනපද පුනර්ජනනීය බලශක්ති ඒජන්සිය විසිනි. එමඟින් පුත්තලම සිට පුනරින් දක්වා වූ කලාපය අධි විභව කලාපයක් ලෙස හඳුනාගැණිනි. සාමාන්‍යයෙන් රටේම උකහාගත හැකි සුළං බලය 25,000MW තරමිය. එනම් වත්මන් ශ්‍රී ලංකාවේ ධාරිතාව මෙන් අට ගුණයක් තරම් විශාල බවත් ප්‍රකාශ කෙරිණ. නමුත් විධිමත් ලෙස ස්ථානීය සුළං බල අධ්‍යයනයක් කළේ 2010 දී පමණ සුනිත්‍ය බල අධිකාරියේ අජිත් අල්විස් ඇතුළු ඉංජිනේරු පිරිස විසිනි. මෙය පසුව විදේශ අධ්‍යයනයකින්ද තහවුරු වූ අතර 2020 දී අඩු තරමින් 650MW මේ කලාපයෙන් උකහාගත හැකි බවටත්, මුහුදේ සුළං බලාගාර තැනීමෙන් හා එය දකුණු ඉන්දියාව සමඟ සම්බන්ධ කිරීමෙන් විදුලිය ආදායමක් කරගත හැකි බවටත් පුරෝකථන විය. ආසියානු සංවර්ධන බැංකුව මන්නාරම විදුලි සම්ප්‍රේශණ පොළ අධිබල මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීමට ඉදිරිපත් වූයේ ද ඒ නිසාය. රාජ්‍ය අංශය හා පුද්ගලික අංශය එක්ව සුළං කලාපය දියුණු කරලීම පළමු සැලැස්ම විය.
සුළං බලය ගැන ලංවිම ඉහළ පාලනාධිකාරියට විශ්වාසයක් තිබුණේ නැත. එයට එක් හේතුවක් වූයේ 1990 ගණන්වල හම්බන්තොට ඉදිකරන ලද සුළං බලාගාරය අසාර්ථක වීමය. තවද සුළං බලය ස්ථාවර නොවීමත් (Fluctuating source) එහි ඉහළ මිළත් සුළං බලාගාර පිළිබඳ අවිශ්වාසයක් ඇතිකර තිබිණ.
නමුත් පසුගිය දශක දෙකක කාලය තුළ සුුළං බලය ස්ථාවරව ලබාගැනීමට සුහුරු ජනන යන්ත්‍ර තැනීමත් එහි මිළ ගණන් දහයෙන් එකක් දක්වා සීග්‍ර ලෙස පහළ යෑමත් නිසා එකී බාධාවන් ජාත්‍යන්තරව ඉවත් විය. එහෙත් ලංවිම ඉහළ සුළු පිරිසක් සුළං බලයට බාදා කරමින් සිටියහ.
මේ සියලු සැකයන් දුරු වූයේ, අප විසින් පුත්තලමේ 100MW සුළං බලාගාර සමූහයක් ඇතිකරලීමෙන් පසුවය. ඒවායේ ඉහළ බලාගාර සාධකය (Plant Factor) කුඩා ජලවිදුලි බලාගාර මට්ටමේ වීමත් සමඟ බාදා කළ බොහෝමයකට තර්ක නොමැති විය.
මෙවැනිම තත්ත්වයක් සූර්ය බලාගාර වලටද විය. බී.ඒ. මහීපාල මහතාගේ පුද්ගලික මැදිහත්වීමෙන් නිවෙස්වල සූර්යබලය නිපදවීමට (Net Metering) ක්‍රියාකළ විට එයටද බාදා කෙරිණි. හම්බන්තොට ජපන්-කොරියානු පද්ධති සම්බන්ධිත බලාගාරය ඉදිවූයේද සූර්යබලය ගැන සැක දුරු කිරීමටය.
පසුගිය දශක දෙක තුළ සූර්ය බලයේ මිළ ගණන් 1/30 තරම් අඩු වී ඇති අතර, සූර්ය බලය ගබඩා කිරීමේ හා ස්ථාවරව පවත්වා ගැනීමේ තාක්ෂණයන් ද මහා පිම්මක් ගෙන ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ ඩොලර් මිලියන 200ක ආධාර මත 2016 වර්ෂයේ තම්බපවනී සුළං බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණු අතර එහි පළමු ව්‍යාපෘති අධ්‍යක්ෂක වූයේ ඉංජිනේරු ලලිත් මහතාය. මන්නාරමේ සිට අනුරාධපුරයට 220 KV සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදිකර එහි සුළං බලය උකහා ගැනීමේ වැඩපිළිවෙළටද ඇතැම් පිරිස් ඕනෑකමින් බාදා කරන ලදි. දැන් එය වව්නියාව හරහා සිදුකරන අතර තම්බපන්ණී මන්නාරම් සම්ප්‍රේෂණ පොළ තවමත් ඉදිකර අවසන් කර නොමැත. ඒ නිසා තම්බපවනී බලය රටට ලැබෙන්නට තව කල් ගතවනු ඇත.
එමෙන්ම කලින් සැලසුම් කළ පරිදි පුද්ගලික අංශයේ දායකත්වය ගැනීම ගැන ද විවෘත ප්‍රසම්පාදනයක් අවශ්‍යය. ලංකාවේ මෙන්ම ලෝකයේ ද පොසිල ඉන්ධන හිඟය, බලශක්ති ස්වයංපෝෂිතතාවය, දේශගුණ විපර්යාස යනාදියට ප්‍රබල විසඳුමක් වන්නේ සූර්ය හා සුළං බලයයි. 2015 දී මගේ පුරෝගාමීත්වයෙන් අමාත්‍යාංශ නිලධාරීන් විසින් සකස් කරන ලද 2030 බලශක්තියෙන් ස්වයංපෝෂිත රටක් තැනීමේ වැඩපිළිවෙළ එහි පදනම විය යුතුය.
විජය තම්බපණ්නියට පා තැබුවේ මන්නාරම් දෝනියේ සුළං දහරා ඔස්සේය. ඒ සුළං දහරා වල අයිතියත්, බලයත්, තිරසර බවත් අයිති වන්නේ විජය – කුවේණී පරපුරට ය.”