යහපාලන ආණ්ඩුව වැඩ කළේ ආක්‍රමණික හමුදාවක් වගේ! බෙදුම්වාදී මර උගුලෙන් මව්බිම ගළවා ගන්න 2/3 බලයක් දෙන්න! – ගෙවිඳු

July 18, 2020 at 3:10 pm | by emanisa.lk

බෙදුම්වාදී මර උගුල් අටවා ඇති වර්තමාන ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා ආණ්ඩුවට 2/3 බලයක් ලබා දෙන සටනෙහි උදාර සෙබළෙකු සෙබළියක වන ලෙස තමා මේ රටේ සමස්ත ජනතාවගේ ඉල්ලා සිටින බව යුතුකම ජාතික සංවිධානේ සභාපති ගෙවිඳු කුමාරතුංග පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ පසුගියදා (12) යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අනුප පස්කුවල්ගේ අගලවත්ත ආසනයේ ප්‍රධාන මැතිවරණ කාර්යාලය බදුරලිය නගරයේ විවෘත කිරීමේ අවස්ථාවට එකතු වෙමිනි.

2005 අපට බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුණා. නමුත් බෙදුම්වාදී දේශපාලනය දිගටම පැවතුණා. 2015 කුප්‍රකට යහපාලන කුමන්ත්‍රණයත්, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත්, යෝජනා වූ අලුත් ව්‍යවස්ථාවත් එම බෙදුම්වාදී දේශපාලන පියවර විදිහට හඳුන්වන්න පුළුවන්.

එතකොට අපට පැහැදිලියි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා රණවිරුවන් ලබා ගත් ජයග්‍රහණයට යුක්තිය ඉටු කරන්න ඒ වෙනුවෙන් සමාජ සම්මුතියක් ගොඩනඟන්න අපට හැකියාවක් ලැබුණේ නෑ කියලා. ඒ නිසා ඒ රණවිරු විජයග්‍රහණය සමාජ සම්මුතියක් බවට පත්කිරීමේ වගකීම අපට තියෙනවා.

පහුගිය යහපාලන ආණ්ඩුව මේ රටේ වැඩ කළේ ආක්‍රමණික හමුදාවක් රටට කඩාපාත්වුණා වගෙයි. එදා ඉංගිරිසිකාරයෝ මේ රට ආක්‍රමණය කරලා පණ්ඩුකාභය රජ කාලේ ඉඳලා මේ රටේ පැවති ගම්සභා ක්‍රමය තහනම් කළා. යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් මේ රටේ පළාත් පාලන ආයතන හකුළලා දැම්මා.

සුද්දෝ එදා බලු බදු ඇඟ බදු ලුනු බදු පාර බදු කියලා ජනතාව මත බදු පිට බදු ගැහුවා. යහපාලන ආණ්ඩුවත් ඒ වගේමයි. ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් මත පවා බදු ගැහුවා. පෞද්ගලික රෝහල් සායන මත බදු පනවා ඒ බරත් ජනතාව මතට වැටෙන තැනට කටයුතු කළා.

ආක්‍රමණිකයා එදා අපේ රටේ ස්වයංපෝෂිත ආර්ථිකය විනාශ කළා. වැවිල භෝග වගාව හඳුන්වා දුන්නා. අප ආර්ථික වශයෙන් පරායත්ත කළා. යහපාලන ආණ්ඩුවත් එම්.සී.සී, සිංගප්පූරු, එට්කා වගේ ගිවිසුම් ඔස්සේ රටේ ස්වාධීනත්වය පාවා දුන්නා. ජාතික ආර්ථිකය දේශීය ආර්ථිකය විනාශ කළා.

පෘතුගීසි වගේම ලන්දේසී ඉංග්‍රීසි ආක්‍රමණිකයෝ භික්ෂූන් වහන්සේලා දඩයම් කළා. යහපාලන ආණ්ඩුවත් ඒක ඒ විදිහටම කළා. ජිනීවා ගිහින් 30:1 යෝජනාවට සම අනුග්‍රහය දීලා අපේ රට රැකගන්න හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් කළ සේවය නිග්‍රහයට ලක් කළා.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ හමුදා නායකත්වයට දඬුවම් ලබා දීම සහ විශ්‍රාම ගැන්වීම මගින් අනාගත බෙදුම්වාදී අභියෝගයක් හමුවේ සටන් නොකරන හමුදාවක් බවට අපේ හමුදාව පත් කරන්න කටයුතු කළා.

මේ අතරතුර විදේශීය මනදොළ සපුරන යහපාලන ආණ්ඩුවේ දුෂ්ට ක්‍රියාදාමයට එරෙහිව අපි අඛණ්ඩව අරගල කළා. 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා සොයා ගෙන ගිය ජනතාව සමග අවදි වූ ඓතිහාසික ජන විඥානය සමග අරගලය මෙහෙය වූ අපට අවසානයේ රුවන්වැලි සෑය අබියස දිවුරුම් දෙන ජනාධිපතිවරයෙක් බිහි කරගන්න හැකියාව ලැබුණා.

ධර්මපාලතුමාට, 56 විප්ලවයට, 2005 ජයග්‍රහණයට සපුරාගත නොහැකි වූ නූතනත්වයට යා වූ අපේ සභ්‍යත්ව රාජ්‍ය ගොඩනඟා ගැනීමේ අරමුණ කරා අප යා යුතු වෙනවා. ඒ සඳහා උවමනා දැනුම වගේම විනයත් අප තුළ තියෙනවා.

එදා පෘතුගීසි ගෙන ආ කාලතුවක්කු දැකලා ඊට වඩා දියුණු කාලතුවක්කු හදන්න සීතාවක රාජසිංහ කාලේ අපට පුළුවන්කම ලැබුණා. අවුරුදු 2000කට කලින් එළාර රජ සොහොන අසල දෝලාවලින් නොයා යුතු බවට ගැමුණු රජතුමා පැන වූ අණ එදා ඉංග්‍රීසීන් සමග සටන් කළ කැප්පෙටිපොළ නිලමේ පිළිපදිනවා. ඒක තමයි අපේ විනය. එහෙම නැතිව පොලිස් රාලහාමි බැටන් පොල්ල අරගෙන එන එක නෙමෙයි.

වසරකට වරක් දිවයිනේ විවිධ පළාත්වලින් 20000ක් පමණ ජනතාව අවුරුද්දකට වරක් අනුරාධපුරයට පැමිණ සතියක් පමණ ශ්‍රී මහ බෝධිය අසල උත්සව පැවැත් වූ ලීචිං කියන සුදු ආණ්ඩුකාරයා තමන්ගේ වාර්තාවල ලියනවා. තමන්ගේ සේවා කාලය තුළ මේ ජනතාව අතර කිසිම ගැටුමක් හොරකමක් පිළිබඳ පැමිණිල්ලක් ලැබුණේ නෑ කියලා ඔහු ලියනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පමණක් ආරක්ෂාවට සිටි පිං පෙට්ටියට කවදාවත් ප්‍රශ්නයක් වුණේ නෑ, යුරෝපයේ මේ විදිහට මුදල් පෙට්ටියක් තබන්න පුළුවන් දැයි ඔහු ප්‍රශ්න කරනවා.

නමුත් 2015 මහින්ද රාජපක්ෂ පරාජය කරන්න මෛත්‍රී, රාජිත, පාඨලී වගේ අය ඇමතුමේ මිනිස්සුන්ගේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වගේ පහත් හැඟීම්වලට. පාරක ඇවිද ගෙන යද්දි පාර හැදූ අයට පිං දෙන්න කියා දුන්නු සංස්කෘතියකින් පෝෂණය වුණු රටට අධිවේගී මාර්ග හදන්නේ රාජපක්ෂලා හොරකම් කරන්න කියලා කීවා.

නමුත් අපි මේ ජරාජීර්ණ දේශපාලනයෙන් මිදිලා අපේ සභ්‍යත්ව රාජ්‍ය ගොඩනඟා ගැනීමේ ගමන යා යුතුයි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ මේ රටේ 69 ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාගයේ දැක්ම මේ ජන විඥානය මේ මහ පොළොවේ පැළ කිරීම සඳහා පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ වගකීම අපට තියෙනවා. එදා යුද්ධයට ගොස් රණවිරුවන් සමග රට රකින්න අප බොහෝ දෙනාට අවස්ථාව ලැබුණේ නෑ. නමුත් මේ වෙලාවේ එකතු වෙලා 2/3ක බලයක් සහිත ආණ්ඩුවක් පත් කරගෙන බෙදුම්වාදී මර උගුල් ඇටවූ ව්‍යවස්ථාව වෙනස් කළ හැකි බලයක් සහිත පාර්ලිමේන්තුවක් අපට නිර්මාණය කරන්න පුළුවන්.

ආණ්ඩුවට 2/3 බලයක් ලැබුණොත් ව්‍යවස්ථාවේ 13,16 සහ 19 වෙනි සංශෝධනවල ඇතුළත් බෙදුම්වාදී සීමා සංශෝධනය කරන්නත් මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන්නත් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ජාතිය හමුවේ ප්‍රතිඥා දුන්නා. 2/3ක බලයක් ලැබුණොත් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න සූදානම් කියලා බැසිල් රාජපක්ෂ මහත්තයාත් ප්‍රකාශ කළා.

ඒ නිසා ආණ්ඩුවට රට වෙනුවෙන් 2/3ක බලයක් ලබා දෙන්න ඔබ පෙර එන්න. ඒ සඳහා ඔබේ ඥාතියා අසල්වැසියා මිත්‍රයා එකතු කරගෙන රට රකින සටනේ ඔබත් සොල්දාදුවෙක් වෙන්න. ඒ පාර්ලිමේන්තුව සංඛ්‍යාත්මකව වගේම ගුණාත්මකව දිනවන්න රටට ආදරේ කරන බුද්ධිමතුන් වෙනුවෙන් මනාපයක් වෙන් කරන්න.

ගෝඨාභයගේ අලුත් දේශපාලනයට සවියක් වෙන්න, සුමන්දිරන්, හකීම්, ජයම්පතිලා ඉදිරියේ නොබියව හිටගන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න. අනුප පස්කුවල් විශ්වවිද්‍යාල කාලේ පටන් ජාතික සටනේ හිටි කෙනෙක්. ඔහු කළුතර ජල ප්‍රශ්නයට විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔහුට ලබා දෙන මනාපය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අලුත් දේශපාලනයට දෙන මනාපයක් වගේම රට රකින ජාතික ව්‍යාපාරයට දෙන මනාපයක්. අනාගතයේ රටට බොහෝ විජයග්‍රහණ ලබා දෙන්නට සලකුණු කරන මනාපයක්.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස