මහ ඡන්දෙන් අපි දින්නාම ගෝඨාට නෝන්ඩි නොවී ගෙදර යන්න පුළුවන්! – සුජීව

March 13, 2020 at 11:26 am | by emanisa.lk

ඉදිරි මහ මහ මැතිවරණයෙන් සිය බලවේගය ජයගැනීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තම ආණ්ඩුවේ පිහිටෙන් කරදරයකින් තොරව වසර 5ක කාලයක් සිය ධුරයෙ කටයුතු කළ හැකි බවද හිටපු මන්ත්‍රී සුජීව සේනසිංහ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊ​යේ (12) පිටකෝට්ටේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

“අද ජනමාධ්‍යවල තියෙන්නේ හිඩැසක්. අපේ කාලේ කරපු සංවර්ධන කටයුතු ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ලෝක ආර්ථික අවපාතයක් තියෙද්දී අපේ රජය සංවර්ධන කටයුතු කළා. වියළි කාලගුණය සහරාන්ගේ ප්‍රහාරය හා දින පනස් දෙකේ දේශපාලන ත්‍රස්තවාදය කියන ප්‍රධාන බාධක තුනට මුහුණදීලත් අපි රට සංවර්ධනය කළා. නමුත් මාධ්‍ය මාෆියාවක් විසින් රට රට කියලා ලොකු බියක් ඇති කළා.

දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් කියනවා තමන්ට ආණ්ඩුවේ වැඩ නිසා හිසරදය හැදිලයි කියලා. තවම සුනාමියේ පළවෙනි රැල්ල වැදුණා විතරයි. දෙවැනි තුන්වෙනි රැළි අප්‍රේල් මැයිවලින් පස්සේ වදිනවා. මැතිවරණය නිසා තමයි මේ අය පීඩනය හිරකරගෙන ඉන්නේ. මැතිවරණයෙන් පස්සේ ජනතාවට ජීවත්වෙන්න බැරිතරම් පීඩනයක් එල්ල වෙනවා.

නමුත් අපි බලයට පත් වුණොත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට අපේ පිහිටෙන් අවුරුදු පහක් ජනාධිපති ධුරයේ ඉන්න පුළුවන්. නෝන්ඩි නොවී ගෙදර යන්න පුළුවන්. මේ අයත් එක්ක හිටියොත් ​​මොකද වෙන්නේ කියලා එතුමා දන්නවා. නරක පණුවොත් එක්ක හිටියොත් මුළු ගෙඩියටම පණුවෝ ගහනවා කියලා එතුමා දන්නවා. එතුමා දැන් හිතනවා ඇති සජිත් එක්ක හිටියොත් හොඳයි කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස