ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මැතිතුමා පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එකතු වෙමින් සිදුකළ දේශනය පහත දැක්වෙයි.
අද අපි සංවාදයට ලක් කරන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම් සභාවේ වාර්තාවයි. ඒ වාර්තාව මුල් කර ගනිමින් ඒ ප්‍රහාරය පිළිබඳ ව රාජ්‍යයක් ලෙස අප මුහුණ දෙන අභියෝග හා ඒ අභියෝග ජය ගැනීමට සාමුහිකව සමගියෙන් හා ප්‍රඥාවෙන් අප ගතයුතු පියවර පිළිබඳ අපි අද විවාද කරනවා.
පාස්කු ප්‍රහාරය පිළිබඳ කරන ඕනෑ ම අධ්‍යයනයක දී අප කම්පාවට පත්කරන ප්‍රධාන කාරණා දෙකක් මතු වී පෙනෙන්නට වීම වැළැක්විය නොහැකියි. ඉස්ලාමීය වහාබ්වාදයේ කුරිරු අන්තවාදී උන්තමත්තකභාවය ඉන් පළමු වැන්නයි. අප සමාජයේ දේශපාලන නායකත්වයේ පටන් පහළට කටයුතු කර ඇති වගකීම් විරහිතභාවය දෙවැන්නයි. ඒ සමඟ ම පාස්කු ප්‍රහාරය අප ගේ රාජ්‍යයේ සහ අප ගේ සෞභ්යත්වයේ අවසානය ප්‍රාර්ථනා කරන දුෂ්ට බලවේගයන්ගේ සැලසුම්සහගත ක්‍රියාවක් ද යන්නත් අප විසින් සලකා බැලිය යුතුයි.
පිපිරුණේ සහරාන්ගේ ආගමික උන්තමත්තකභාවයේ බෝම්බ ද? නො එසේ නම් 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අටවනු ලැබූ ව්‍යවස්ථා බෝම්බ ද?
2015 දී ජයග්‍රහණය කළ අප ගේ රාජ්‍යයට එරෙහි විජාතික බලවේග මගින් අටවන ලද ව්‍යවස්ථා බෝම්බ නොවිණි නම්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය නම් ශ්‍රී ලංකා රාජ්‍යය දියකර හැරීමට සිදුකළ කුමන්ත්‍රණය නොවිණි නම්, ඒ සහරාන්ලාගේ බෝම්බලවලට, ඒ ආගමික උන්තමත්තභාවයේ පිපිරීමේ අවස්ථාව හිමි වනු ඇත්ද? අම්මා සහ තාත්තා ප්‍රචණ්ඩකාරීව එකිනෙකා හා මරා ගන්නේ නම් එබඳු නිවසක් දූදරුවන්ට ආරක්ෂිත ද? එවන් අවස්ථාවක දික්කසාදය සාධු සම්මත ක්‍රියාවක් නො වන්නේ ද?
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සහ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට සමඟියෙන් රට පාලනය කළ නොහැකි වූ තැන, 2018 පළාත් පාලන මැතිවරණයෙන් නව ජනතා අපේක්ෂා ප්‍රකාශයට පත් වූ අවස්ථාවක වඩා ශිෂ්ට සම්පන්න වනුයේ ඒ ජනතා අභිලාෂයට නව රජයක් පත්කර ගැනීමට ඉඩ විවර කර දීම නොවෙ ද? ඒ ව්‍යවස්ථා අර්බුදය මහජන අභිලාෂය අනුව විසඳනු පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා තාවකාලිකව අගමැති ධූරය භාරගැනීම සහ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු වූ අවස්ථාවේ ශ්‍රී ලංකා රාජ්‍යයේ සතුරන්, ඒ සතුරන්ගේ පියන්ලා ඒ මහා විනාශයට ඒ මහා අරාජිකත්වයට දොරටු විවර කරනු පිණිස මේ ගරු සභාවේ දිවගිය අයුරු ඔබට මතක ද?
සිය අගමැති හා තව දුරටත් කටයුතු කළ නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට එසේ කරන්න යැයි බල කළ දේශපාලන බලවේග පාර්ලිමේන්තුව, අධිකරණය, රාජ්‍ය නොවන සංවිධාන යන සියලු බලවේගවල අශිෂ්ට බලහත්කාරයට දායක වූ සියලු පාර්ශ්වල දෑත්වල මේ අහිංසක මිනිසුන් ගේ, පල්ලිවල දෙවියන් හමුවේ සිය හදවතේ පැතුමන් මුමුණමින් මිය ගිය ඒ අහිංසක මිනිසුන් ගේ ලේ තැවරී නැති ද? ඒ විනාශයේ දොරටු දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විවර කළේ විපක්ෂයේ සිටිමින් ම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුව යළි පිහිටුවීමට කටයුතු කරමින් ය. දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ සිටිමින් ම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විශ්වාසය පළ කිරීමේ ලිපියක් ද ඉදිරිපත් කළේ ය. කොහොම ද අපේ සුපිරි ප්රජාතන්ත්රවාදය?
2015 ශ්‍රී ලංකාවට එරෙහි විජාතික කුමන්ත්‍රණයට දායක වූ 19 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථා බෝම්බ ඇට වූ 19 වෙනි සංශෝධනයෙන් ද ඔබ්බට යන්නා වූ ඔරුමිත්තනාඩු ව්‍යවස්ථාව සැදීමට මූලිකත්වය ගත් එහි සමායෝජකයෙකු පසුගිය දා පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදයට එකතු වෙමින් ප්‍රකාශ කළේ කුමක් ද? ඔහු ගේ අදහස් දැක්වීම අවසන් කර තිබුණේ මෙසේ ය. “The world is looking at this country as country that has fail to deliver justice to its citizen and has become a fail state. Thank you very much.” මා එය සිංහලට පරිවර්තනය කළහොත් “ලෝකය මේ රට දෙස බලනු ලබන්නේ සිය පුරවැසියන්ට යුක්තිය ඉටු කරලීමට අසමත් වූ රටක් ලෙස ය. අද මේ රට අසාර්ථක වූ රාජ්‍යයක් බවට පත්ව තිබේ. ඔබට බොහොම ස්තූතියි!” මේ ස්තූති කරන්නේ කාට ද? මේ සභාවට ද? 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන බෝම්බය ඇට වූ පැවැති පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීතුමන්ලාට ද? ඒ අවකාශය භාවිත කරමින් මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගත් සහරාන් ඇතුළු ම්ලේච්ඡ උන්තමකයින්ට ද?
අපි දැන් පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව දෙසට හැරෙමු. විපක්ෂය මේ වාර්තාව සම්බන්ධයෙන් පොදුවේ නඟන චෝදනාව වී ඇත්තේ සහරාන් පසුපස සිටි මහ මොළකරු කවුදැයි අනාවරණය කිරීමට මේ වාර්තාව අසමත් වී ඇති බව ය. නො එසේ නම් එම තොරතුරු සඟවන බව යි. මේ චෝදනාව සත්‍යයක් ද? නැත්නම් පාස්කු ප්‍රහාරය සඳහා මේ රජයේ හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සම්බන්ධයක් ඇඟවීමට දරනු ලබන නිර්ලැජ්ජිත මෙන් ම භයානක ප්‍රතිඵල අත්කර දිය හැකි ජුගුප්සාජනක පහත් දේශපාලනයක් ද?
මේ චෝදනාව මේ ජනාධිපති කොමිසම් සභාව සහරාන් පිටුපස සිටි බලවේග නැත්නම් සහරාන් පසුපස සිටි මහමොළකරු හෙළිකර නැතැයි යන චෝදනාව සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ බලවේග පුනපුනා ප්‍රකාශ කරන බව අසන්නට ලැබේ. මේ ජනාධිපති කොමිසම් සභාවට පෙර මේ පිළිබඳ සොයා බලා වාර්තා කිරීම සඳහා වන විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් පැවැති පාර්ලිමේන්තුව පත්කළ බව අප දන්නා කරුණක්. දැන් සමගි ජන බලවේගය නියෝජනය කරන වෛද්‍ය රාජිත සේනාරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්දිරන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවූෆ් හකීම් ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා ද ජනතා විමුක්ති පෙරමුණේ ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස හිටපු මන්ත්‍රීතුමා ද මේ කාරක සභාවේ සාමාජිකත්වය දැරූ බව අප දන්නා කරුණක්.
ඒ කොමිෂන් සභාව සහරාන් පිටුපස සිටි බලවේගය හෙළිදරව් කළා ද? සහරාන් පිටුපස සිටි මහමොළකරු හෙළිදරව් කළා ද? අවම වශයෙන් සහරාන් පිටුපස එවැනි බලවේගයක් තිබූ බව හෝ එහි සාකච්ඡා කර තිබේ ද? පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඒ පිළිබඳ විමර්ශනය කර සාකච්ඡා කර නැති වූවාට ඔවුන්ගේ චෝදනාවට ලක්වන මේ විශේෂ ජනාධිපති කොමිසම් සභා වාර්තාවේ ඒ ගැන සාකච්ඡා කර ඇත. ඒ වාර්තාවේ 528 වන පිටුවෙහි නායකයා ලෙස තමා මරාගෙන මැරෙන ප්‍රහාරයකට සහභාගී වීම ගැන සහරාන් දැක්වූ අදහස් උපුටා දක්වා ඇත. ඒ වගේ ම විදේශ හස්තයක් මේ ප්‍රහාරය පිටුපස සිටි බවට පිළිගත හැකි සාක්ෂි කොමිසම් සභාවට නොලැබුණු බවත් සඳහන් කර ඒ ගැන තව දුරටත් විමර්ශනය කරන ලෙස අදාළ ආයතනවලින් ඉල්ලා ඇත.
පාස්කු ප්‍රහාරයෙන් දේශපාලන වාසියක් වූයේ කාටදැයි අසමින් කරන දේශපාලනය භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බව පෙර ද සඳහන් කළෙමි. මේ විවාදයේ දී ලලිත් ඇතුලත්මුදලි හිටපු ඇමැතිතුමා ගේ ඝාතනය ගැන සඳහන් කෙරී ඇත. එම ඝාතනය පක්ෂ දේශපාලන දෘෂ්ටියෙන් බලා විග්රහ කිරීමට යාමෙන් අවසානයේ සිදුවූයේ කුමක් ද? ආරක්ෂක ඇමැති රංජන් විජේරත්න, ජනාධිපති ආර්. ප්‍රේමදාස, ජනාධිපති අපේක්ෂ ගාමිණි දිසානායක ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සමස්ත නායකත්වය ම කොටි ත්රස්තවාදීන් අතින් ඝාතනය වීම නොවේ ද? අතට අත දී ගිවිසුම් ගසා උතුරු නැඟෙනහිර කුරිරු ත්රස්තවාදයට භාර දීමට එකඟ වූවකු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීම නොවෙ ද? කරුණාකර මේ පහත් දුෂ්ට දේශපාලනය පිටුදකින්න.
මේ ත්‍රස්ත ප්‍රහාරය නිසා වාසියක් සැලසුණේ කාටදැයි විපක්ෂයේ මහත්වරු නඟන ප්රශ්නය ද සලකා බැලීමට කැමැත්තෙමි. පාස්කු ප්‍රහාරය ඔවුන් ගේ ප්‍රහාරයේ සමස්තය ද? නො එසේ නම් ඉන් කොටසක් පමණක් ද? 2019 අප්‍රේල් 21 මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසුව සාමාන්‍ය ජනතාව ඉලක්ක කර බෝම්බ ඇට වූ රථ වාහන ස්ථානගතකර තිබූ බව අපි දනිමු. එසේ ම එම ප්‍රහාරවලින් පසු බස්නාහිර පළාතේ නැතිනම් වයඹ පළාතේ තිබූ විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් නැඟෙනහිර පළාතේ සයින්දමරදු වෙත ගෙන ගොස් ඊළඟ ප්‍රහාරය සඳහා සූදානම් ව සිටි බව ද දනිමු.
එම පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ලොරි රථ රියදුරාගේ තීක්ෂණභාවය සහ දේශප්‍රේමීත්වය නොවන්නට සිදුවිය හැකිව තිබුණේ කුමක් ද? එම ත්රස්තවාදීන් සිවුරු හා සිල් රෙදි එකතු කර තිබුණු බව ද අනාවරණය විය. සහරාන්ගේ මුල් සැලැස්ම වූයේ මහනුවර දළදා පෙරහැරට පහර දීම බව මේ වාර්තාවේ ද සඳහන් කර ඇත. එහෙයින් ප්‍රහාරකයින්ගේ අරමුණ වූයේ මේ රට එක ම ලේ විලක් කිරීම බවට සැකයක් තිබිය නොහැකි ය. ඒ දෙවන ප්‍රහාර වටය අසාර්ථක වූ පසුව පවා තැන් තැන්වල ජන වාර්ගික ගැටලු ඇති කිරීමට ප්රයත්න දැරුණු බව ද අතිගරු මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමා ගේ ගෞරවණීය නායකත්වය නිසා ඒ අවස්ථාවේ මහා විනාශයක් සිදුවීම වැළකුණු බව ද අපට මතක ය.
පාස්කු ප්‍රහාරයට පසු ඒ ස්ථානවලට එකතු වන සාමාන්‍ය ජනයා ඉලක්ක කර ඇට වූ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට අප ගේ හමුදා අසමත් වී නම් බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කරගත් දෙවන ප්‍රහාර මාලාව සාර්ථක වී නම් පළාත් සභා ඡන්දය ව්‍යාජ හේතු නිර්මාණය කර කල් දමා ගත් ආකාරයට ම ජනාධිපතිවරණය නොපැවැත්වෙන තැනට කටයුතු නොකෙරෙනු ඇත් ද? මෙම ප්‍රහාරකයින් ගේ සමස්ත සැලැස්ම ක්‍රියාත්මක වී නම් ඉන් වාසි අත්වනු ඇත්තේ කාට ද?
83 ජුලි කලබල සිය දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට යොදා ගැනීම ගැන, 1988 ජනාධිපතිවරණය ජය ගැනීමට භීෂණය යොදා ගැනීම ගැන එජාප රජයන්ට ඇත්තේ ලේ තැවරුණු අතීතයකි. එපමණක් නොව 2018 වසරේ දිගන සිද්ධිය ඇති වන්නේ ද 2018 පෙබරවාරි 10 පළාත් පාලන ඡන්දය පොහොට්ටුව නැමැති නව දේශපාලන බලවේගය අතිවිශිෂ්ට ජයක් ලබා තිබිය දී ය. ඒ කලබල නිසා 2018 මාර්තු මුල නුගේගොඩ පැවැත්වීමට කටයුතු යොදා තිබූ පොහොට්ටුවේ ජයග්‍රාහී ජනරැලිය ද පැවැත්වීමට නොහැකි වූ බව අප සිහිපත් කළ යුතු ය.
දැන් මේ කොමිසම් සභා වාර්තාවෙහි එන වැදගත් යෝජනා කෙරෙහි මේ ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. වාර්තාවෙහි 486 පිටුවෙහි ආරක්ෂාව සම්බන්ධ ප්‍රමුඛතම යෝජනාව දැක්වෙයි. ආරක්ෂක අමාත්‍යංශය හැම විට ම ජනාධිපතිවරයා යටතේ පැවැතිය යුතු බව එහි දැක්වෙයි. 20 වන සංශෝධනය මගින් මූලිකව ම ඉටු කළේ මෙම කාරණයයි.
විනිමය පාලක පනත සම්බන්ධයෙන් පසුගිය රජය 2017 ගෙන ආ සංශෝධන මගින් මුදල් විශුද්ධිකරණයට දොරටු හැර ඇති බව මෙම වාර්තාවෙන් පෙන්වා දී ඇත. (491 පිටුව) ශ්‍රී ලංකාවට විදේශයන්ගෙන් සම්ප්‍රේෂණය කරන මුදල් නිරීක්ෂණය කිරීමෙහි යාන්ත්‍රණයක් ගොඩනැංවීමේ අවශ්‍යතාව (492 පිටුව) මුදල් විශුද්ධිකරණ පනතට ගෙන ආ සංශෝධන (479 පිටුව) මේ පාර්ලිමේන්තුව ම සභිකයින්ගේ පුද්ගලික පනත් මගින් පිහිටුවන ආයතන සම්බන්ධයෙන් සිදුකළ යුතු නිරීක්ෂණ (510 පිටුව) රාජ්‍ය නොව සංවිධාන (GNO)පිළිබඳ පවත්වා ගෙන යා යුතු සුපරික්ෂාව (515-516 පිටු)
මේ ආකාරයට කෝටි ගණනින් ත්‍රස්ත නැතහොත් අන්තවාදී අරමුණු සහිත පුද්ගලයන් හා සංවිධාන වෙත පොම්ප කෙරෙන නිසා ම අපේ රටේ ඉඩම් අයිතිය පිළිබඳ බරපතළ ලෙස සිතිය යුුතු බව අපේ අදහසයි. ජනාධිපතිතුමා සහ රජය සද්භාවයෙන් ගොවි ජනයාට ලබා දෙන ඉඩම් මුදලට අන්සතු කළ නොහැකි වන බවට නීති සම්පාදනය වී තිබීම ඉතා වැදගත්. ඒ වගේ ම මෙහි යෝජනා වී තිබෙනවා කිසි ම ප්‍රදේශයක විශේෂිත ආගමික හෝ ජන වාර්ගික කණ්ඩායමක් පමණක් සිටිය යුතු නොවන බවටත් රටේ පොදු ආගමික වාර්ගික ජන අනුපාතයට අනුව රජයේ ඉඩම් ලබා දිය යුතු බවටත්. එය ඉතා ම වැදගත් යෝජනාවක් ලෙස අපි පිළිගන්නවා. ආගමික හේතු හා විශ්වාසයන් මත පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කළ යුතු බවට ද (511 වන පිටුව) ශ්‍රී ලංකාව වහබ්වාදය තහනම් කළ යුතු බව හා වහබ්වාදී සංවිධාන වන බැවින් සියලු ම තවුහිද් ජමාද් සංවිධාන තහනම් කළ යුතු බවට ද (516-517 පිටු) යෝජනා කෙරී තිබෙනවා. රජය එම යෝජනා ක්‍රියාත්මක කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.
මැතිවරණ ක්‍රමය පිළිබඳ ඉතා වැදගත් විවරණ හා යෝජනා වාර්තාවේ 490 පිටුව් අංක 01 යටතේ සඳහන් වෙනවා. ත්රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා මැතිවරණ ක්‍රමය සංශෝධනය කළ යුතු බවට මෙහි නිර්දේශ කර තිබෙනවා. බෙදීම් ඉස්මතු කරන දැඩි විනාශකාරී සමානුපාතික මැතිවරණ ක්‍රමයෙන් ඉවතට ගමන් කිරීම නිවැරදි ම ආකාරයට නොවුණත් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අප ආරම්භ කර තිබෙනවා. එය තව දුරටත් ශක්තිමත් කළ යුතුයි.
දැන් පළාත් සභා සම්බන්ධයෙන් ද සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් ඉවත් වීමේ නිවැරදි තීන්දුව වැරදි ආකාරයට වුවත් මෙම සභාව ගෙන තිබෙනවා. මොනම හේතුවක් නිසාවත් ආපසු සමානුපාතික ඡන්ද ක්‍රමය වෙත යෑමට මෙම ගරු සභාව තීරණය නොකළ යුතුයි. ඒ අපරාධය අපේ රජයක්, ගෝඨාභය ජනාධිපතිතුමා ගේ රජයක් පවතිද්දී කිසිසේත් සිදුනොවිය යුතුයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ මේ කොමිසන් සභාවේ ප්‍රධානතම නිර්දේශය වන්නේ ‘එක් රටක් එක නීතියක් සංකල්පය’ පිළිගෙන ක්‍රියාත්මක කළ යුතු බවයි. එය වාර්තාවේ 503 වන පිටුවෙහි සඳහන් වෙනවා. අපේ රට සම්බන්ධ අප ගේ ප්‍රධාන දේශපාලන ආකල්පය ද එයමයි. මේ හා බැඳුණු බොහෝ යෝජනා මේ කොමිසම් වාර්තා යෝජනා අතර තිබෙනවා. උදාහරණයක් ලෙස මේ වාර්තාවේ 482 පිටුවේ ආගමික සිද්ධස්ථාන ඉදිකිරීම ගැන කියන්නේ ඒ සම්බන්ධව පළාත් සභා සඳහා හෝ පළාත් පාලන ආයතන සඳහා හෝ සඳහා කාර්යභාරයක් නොතිබිය යුතු බවයි. ඒ සම්බන්ධ නියාමන ආයතනය මධ්‍යම රජය සම්බන්ධ ආයතනයක් විය යුතු බවයි.
513 වන පිටුවෙහි රජයේ ඉඩම් නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී ද වාර්තාව කියා සිටින්නේ කිසි ම ප්‍රදේශයක විශේෂිත ජන වර්ගයක් හෝ ආගමික කණ්ඩායමක පුද්ගලයන් පමණක් සිටිය යුතු නොවේ කියා ය. ඒ අනුව නීති සම්පාදන බලතල සහිත පළාත් සභා පවත්වා ගෙන යාම ගැන අප ගැඹුරින් සිතා බැලිය යුතුයි. ඒ ඒ පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධීකරණ ආයතනයක් බවට පළාත් සභා පත්කර ගැනීම අපට කළ නොහැකි ද?
සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වා දීමේ පටන් 13 වන ව්‍යස්ථා සංශෝධනයෙහි පටන් අප ගමන් කර ඇත්තේ වෙනස, බෙදීම තහවුරු කරන දිශානතියකට ය; රාජ්‍යය දුර්වල කරන දිශාවකට ය. අපට අවශ්‍ය රාජ්‍යය යළි ශක්ති සම්පන්න කරන දිශාවට යළි ගමනක් ඇරඹීමට ය. ජන වර්ග වශයෙන්, කුල වශයෙන්, ආදී ශිෂ්‍ය සංගම් වශයෙන් බෙදී බෙදී විනාශය කරා යන මේ ගමන නවතා සියලු දෙනා එකමුතු කරන ගමනක් ඇරඹීමට ය.
අප රට කුඩා රටක් ය. එහෙත් ලොව බිහිසුණු ම කුරිරු ම ත්‍රස්තවාදය පරාජය කළ රටක් ය. එහි දී ත්රස්තවාදීන් ඇතුළු 6000-7000ක් පුරවැසියන් ඝාතනය වද්දී 295 000කට වඩා දෙමළ ජනතාවක් බේරා ගෙන පුනරුත්ථාපනය කර යළි පදිංචි කළ රටක් ය. ඒ නිසා අප එකමුතු වුවහොත් ලොවට ආදර්ශයක් දිය හැකි රාජ්‍යයක් බිහිකළ හැකි බව අප ගේ විශ්වාසයයි. ඒ සඳහා මේ විමර්ශන වාර්තාවේ බොහෝ වැදගත් යෝජනා, බොහෝ සාධනීය යෝජනා ඇති බවත් ඒවා ක්‍රියාවට නඟමින් එකමුතුව එක්සේසත් රාජ්‍යය ගොඩනැඟීමට, සියලු දෙනාට සමගියෙන් සතුටින් ජීවත් විය හැකි රාජ්‍යයක් ගොඩනැඟීමට, කටයුතු කළ යුතු බව අප ගේ යෝජනාවයි.
ගෙවිඳු කුමාරතුංග