උතුරේ ජනතාවත් පළාත් සභා ඉල්ලන්නේ නෑ! වරප්‍රසාද අහිමි සුළු පිරිසක් සනසන්න පළාත් සභා එපා! අලුත් ව්‍යවස්ථාවක් උදෙසා වන ජනතා පැතුම ඉටු කරනු! – ජාතික සංවිධානවලින් ආණ්ඩුවට රතු එලි…

December 17, 2020 at 7:54 pm | by emanisa.lk

ජාතික සංවිධාන එකමුතුව මගින් නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ
සියලුම මහජන නියෝජිතයන් වෙත,

ගෞරවණීය මහජන නියෝජිතයිනි,

රටට නව ව්‍යවස්ථාවක් කඩිනමින් සම්මතකරන බවට ලබාදී ඇති පොරොන්දුව එසේම තිබියදී පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මගින් ජනවරමේ අපේක්ෂා බිඳ වැටෙන බව පෙන්වාදීම

පසුගියදා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා සහ ආණ්ඩුවේ සෙසු පාර්ශ්ව විසින් මහජනයාට සුවිශේෂි පොරෝන්දුවක් ලබාදුනි. ඒ ඉතා කඩිනමින් රටට සුදුසු නව ව්‍යවස්ථාක් සම්පාදනය කොට සම්මත කරන බවය. ඇත්ත වශයෙන්ම එම පොරොන්දුව ජනාධිපතිතුමා විසින් ජනාධිපතිවරණයට පෙර රටට ඉදිරිපත් කළ ප්‍රත්පත්ති ප්‍රකාශනය වූ සෞභාග්‍යයේ දැක්ම ලේඛනයේ සඳහන් වූ සුවිශේෂි දේශපාලන උපාය මාර්ගික ප්‍රවේශයකි. එදා ජනාධිපතිවරණයට පෙර 20 වැනි සංශෝධනයක් පිළිබඳ යෝජනාවක් හෝ පොරොන්දුවක් ඉදිරිපත් නොවුණ ද නව ව්‍යවස්ථක් සම්මත කිරීමේ උවමනාව සෞභාග්‍යයේ දැක්ම තුළ ඉතා ප්‍රබල ලෙස අවධාරණය කෙරිණි.

ඒ නිසා පසුගිය නොවැම්බර් 16 වැනිදා මේ රටේ ඉරණම වෙනස් කළ ජනාධිපතිවරණ ජනවරම තුළ නව ව්‍යවස්ථාවක් පිළිබඳ අපේක්ෂාව ගැඹුරින් සටහන් වී ඇත. විශේෂයෙන්ම ජනාධිපතිවරණයේදී මෙන්ම ඊට පසුවද නව ව්‍යවස්ථාවට අදාළ සමාජ සංවාදය තුළ ශ්‍රී ලංකාවේ ඉරණම වෙනස් කරන බරපතළ උපායමාර්ගික යෝජනා ඉදිරිපත් විය. ඒ තුළ “එක් රටක් එක් නීතියක්” නැමති දාර්ශනික පදනමට යටත්ව ඉස්ලාම් ආගමික අන්තවාදය සහ දෙමළ ඊළාම් බෙදුම්වාදය තීරණතාමකව දේශපාලන වශයෙන් පරාජය කිරීම සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අවශ්‍ය බවට ප්‍රබල යෝජනා ඉදිරිපත්වේ. එහිදී බෙදුම්වාදයට ගොදුරු නොවන ආකාරයට පළාත් හෝ දිස්ත්‍රික් මට්ටමට පරිපාලන බලතල විමධ්‍යගත කිරීම සඳහා නව බලව්‍යුහයක් අවශ්‍ය බවට විවිධ යෝජනා ඉදිරිපත් වේ. එ බලව්‍යුහයේ හැඩතල නිර්මාණය වන්නේ නව ව්‍යවස්ථාවක් තුළිනි. ඒ නිසා එම නව ව්‍යුහය ස්ථාපිත කිරීමට පෙර පැරණි ව්‍යුහය ස්ථාපිත කිරීම සඳහ මැතිවරණයක් පැවැත්වීම කිසිසේත්ම සාදාරණීකරණය කළ නොහැක.

ඊට අමතරව පසුගිය වසර 03කට අධික කාලය තුළ රටපුරා පළාත් සභා නොමැතිව පළාත් මට්ටමේ පරිපාලන කටයුතු අර්බුදයකින් තොරව ක්‍රියාත්මක විය. ඊට අදාලව උතුරු නැගෙනහිර පළාත්වල ජනයාහෝ කිසිදු විරෝධයක් දක්වා නැත. ඒ වෙනුවට රජයේ අරමුදල් ඉතිරි වූ බවට රජයට ප්‍රසාදය ඵලකරන අවස්ථා දැකගත හැක. ඉන්දියාව විසින් ඉන්දු ෆැසිපික් කලාපීය උපාය මාර්ගික උවමනාවන්ට අනුව ශ්‍රී ලංකාව බෙදා වෙන්කිරීමේ දිර්ඝකාලීන අරමුණු සහිතව අප මත පැටවූ පළාත් සභා ක්‍රමය නැමති විකෘති බල ව්‍යුහය රැකගත යුතුයැයි කිසිදු මහජන හඩක් පැනනැගී නැත. පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවට සිහින් හඩින් හෝ මත ඵලකරන්නේ එම බලව්‍යුහය නොමැතිවීම නිසා වරප්‍රසාද අහිමිව ඇති පුද්ගලයින් විසින් බව පැහැදිලිව පෙනේ.

එවැනි තත්වයක් තුළ නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමේදී පවතින පළාත් සභා බල ව්‍යුහය තුළ කුමක් හෝ වෙනස්කම් කිරීමට සිදුවේ. ඊට අදාළ මහජන මතය පළාත් සභා සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ සිට ව්‍යවස්තාදායක බලය නොමැතිව විධායක බලය පමණක් විමධ්‍යගත කිරීම ආදී වශයෙන් වන පුළුල් පරාසයක පැතිරී ඇත. ඒ අනුව පළාත් සභාව වෙනසකට භාජනය විය යුතු බවට ප්‍රබල මහජන අපේක්ෂාවක් තිබෙන තත්වයක් තුළ පැරණි බල ව්‍යුහුය නැවත පිහිටුවීම සඳහ මැතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුවේ සැබෑ අපේක්ෂා පිළිබඳව මහ ජනයා තුළ අවිශ්වාසයක් ජනිත වේ. එනම් නව ව්‍යවස්ථාවක් පිළිබඳව ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන පොරොන්දුව ව්‍යාජයක් බවට මහජන මතයක් ඇතිවීමට සාධාරණ ඉඩක් ඇත. එම තත්ත්වය ආණ්ඩුවේ ප්‍රතිරූපයට සහ අනාගත පැවැත්මට අනර්ථකාරී වන බව කිව යුතු නැත.

ඒ නිසා දැන් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ආණ්ඩුවට තිබෙන උවමනාව සහ නව ව්‍යවස්ථාවක් පිළිබඳ පොරොන්දුව අතර පවතින පරස්පරය නිවැරදි කළ යුතුය. එය නිවැරදි කළ හැක්කේ නව ව්‍යවස්තාව සම්මත කිරීමෙන් පසුව පළාත් බල ව්‍යුහයන්ට අදාළ මැතිවරණය පවත්වන බව සහ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් සිදුකරන බව මහ ජනයාට විවෘතව ප්‍රකාශ කිරීම මගිනි. එසේ නොවන තත්ත්වයක් තුළ ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම සඳහා අවංක උවමනාවක් නොමැති බවට සහ බෙදුම්වාදීන් සහ ආගමික අන්තවාදීන් සමඟ ආණ්ඩුව දේශපාලන ඩීල් දමන බවට විවිධ පාර්ශ්වවලින් එල්ල වන චෝදනා සනාථ වනු ඇත.

ඒ නිසා මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන විරෝධය මැද සුළු පිරිසකගේ උවමනාවන්ට අනුව පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සහ ඒ මගින් නව ව්‍යවස්ථාවක් පිළිබඳ මහජන අපේක්ෂා බිඳ හෙලීම බලවත් දේශපාලන වරදක් බව ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලුම මහජන නියෝජිතයන්ට පෙන්වා දීමට කැමැත්තෙමු. ඒ ආකාරයට ආණ්ඩුව ජනවරමට පිටුපාමින් බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී කල්ලි කණ්ඩායම් සතුටු කිරීම සඳහා පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට තීන්දු කරන්නේනම් ජාතික සංවිධාන ලෙස ඊට එරෙහිව අපගේ බරපතළ විරෝධය මෙසේ ප්‍රකාශ කරමු.

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැඳවුම්කරු
ජාතික සංවිධාන එකමුතුව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස