ත්‍රස්තවාදය පරාජයට කිරීමට ආණ්ඩුව පමණක් නොව සමස්ත සමාජයම මැදිහත් විය යුතුයි! – විදේශ ලේකම්

September 2, 2019 at 1:15 pm | by emanisa.lk

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසු ගතවූ පසුගිය කාලසීමාව මානව හිමිකම් සම්මතයන්ට අනුකූලවෙමින් ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දක්වන්නාවූ කැපවීම මෙන්ම විශේෂයෙන් පසුගිය වසර කිහිපයක කාලය තුළ ශක්තිමත් කළ ප‍්‍රජාතාන්ත‍්‍රික ආයතනයන්හි ශක්තීන් මෙන්ම ඒවායේ දුර්වලකම්ද තහවුරු කළ ලිට්මස් පරීක්ෂාවක් වූ බව බව විදේශ ලේකම් රවිනාථ ආර්‍ය්‍යසිංහ පැවසීය.

ඔහු මෙම අදහස් පළකෙළේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පසුගිය සිකුරාදා (අගෝස්තු 30) සමාප්තවූ කොළඹ ආරක්ෂක සම්මන්ත‍්‍රණයෙහි ‘පාස්කු ඉරුදින ප‍්‍රහාරයෙන් පසු ශ‍්‍රී ලංකාව උගත් පාඩම් සහ අභියෝගයන්ට මුහුණදීම මැයින් දේශනයක් පවත්වමිණි. රටවල් 40 නියෝජනය කරමින් පැමිණි විද්වතුන් සහ වෘත්තිකයන් මෙන්ම ශ‍්‍රී ලංකාවේ වෙසෙන ආරක්ෂක නිලධාරීන්, තානාපති නිලධාරීන් සහ ආරක්ෂක විශ්ලේෂකයන් ගෙන් සුසැදි 800කට ආසන්න පිරිසක් අමතා හෙතෙම මෙම දේශනය පැවැත්වීය.

පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සිදුවීමේ පසුබිමක මෙවර කොළඹ ආරක්ෂක සම්මන්ත‍්‍රණය පැවැත්වීම සිහිපත් කළ ආර්‍ය්‍යසිංහ ත‍්‍රස්තවාදී තර්ජනයට මුහුණදී ඇති රාජ්‍ය ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම හා මානව හිමිකම් ආරක්ෂා කිරීම යන කරුණු ද්විත්වය එක හා සමගාමීව සිදුකළ යුතු අතරම එක් කරුණක් හේතුවෙන් අනෙක කැප නොකළ යුතු බව අවධාරණය කළේය. මෙම මතවාදයන් ක‍්‍රියාවට නැංවීම සමබරව මෙන්ම ඉතාමත් ප‍්‍රවේශම් සහගතව සිදුකළ යුතු කාර්යයක් වන නමුත් බොහෝ අවස්ථාවල මෙම සමබරබව නොපැහැදිළි බවත් රාජ්‍යයන් මින් එක් අන්තයක සිට අනෙක් අන්තය වෙත ගමන් කරමින් මෙම කරුණු වෙත විවිධ ප‍්‍රමිතීන් ආදේශනය හා දේශපාලනික මුහුණුවර ලබාදීම සිදුකරන බවත් හෙතෙම පැවසීය. පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය සිදුවූ දින සිට පසුගිය මාස හතරක කාලය ඇතුළත ශ‍්‍රී ලංකාව තුළ සාමාන්‍ය තත්ත්වයක් සහ ආර්ථික ප‍්‍රතිසාධනයක් ඇති කිරීම සදහා විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළු ‘සියලූ රාජ්‍ය යාන්ත‍්‍රණය’ එක්ව කටයුතු කළබව පැවසූ විදේශ ලේකම්වරයා මෙම සියලු අංශ එක්ව ශක්තිමත්ව දියත් කළ කාර්ය සමුදාය විස්තර කළේය.

ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ දියත් කළ ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබද සිය අවධානය යොමුකළ විදේශ ලේකම්වරයා මෙම ප‍්‍රහාරය සමගින් පැනවූ හදිසි නීතිය මෙම මස ඉවත් කිරීමට හැකිවීම ආරක්ෂක අංශයන්හි මෙන්ම ශ‍්‍රී ලංකාවද ලද ජයග‍්‍රහණයක් බව පැවසීය. එසේම මෙම ප‍්‍රහාරයට සෘජුව සම්බන්ධ ජාතික තව්හීද් ජමාත්, ජමතෙයි මිලාතු ඊබ‍්‍රහිම් සහ විල්සයත් අල් සෙලානී යන කණ්ඩායම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ත‍්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා 1373 අනුව තහනම් කිරීමටද රජය කටයුතු කෙරුණි. ඒ සමගින්ම සියලුම සාමාජික රටවල් අනුකූල වියයුතු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා ශ‍්‍රී ලංකාව තුළ බලදායීවන්නාවූ නීතිද ගෙන ඒමට රජය පියවර ගැනුණි.

ඒ හරහා ශ‍්‍රී ලංකාවේ දේශසීමා ආරක්ෂාව තවත් ශක්තිමත් කිරීම, ප‍්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම, අයිසිස් සංවිධානයට බැඳීමට රටින් පිටවන ශ‍්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෙන්ම ශ‍්‍රී ලංකාව සංක‍්‍රාංතික ස්ථානයක් ලෙස භාවිත කරන්නාවූ විදේශ ත‍්‍රස්තවාදී සටන්කාමීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම ආදිය තවත් ශක්තිමත් වෙයි. එසේම මුහුණ ආවරණය වන ඇඳුම් හා පළඳනා තහනම් කිරීමේදී මුස්ලිම් ප‍්‍රජාවගේ සංවේදීතාවයන් සැලකිල්ලට ගෙන දෙකන් වසාගැනීමට බල නොකිරීමටද රජය වගබලා ගත් බවද හෙතෙම පැවසීය. එය රජය ස්වයං විවේචනාත්මක මෙන්ම සාධනීය අන්දමින් සියලු ප‍්‍රජාවන් හා කටයුතු කිරීමට මනා නිදසුනක් වශයෙන්ද හෙතෙම නම් කළේය. එසේම රැඳවුම් භාරයේ සිටින්නාවූ සියල්ලන්ම හමුවිමට ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයට ඉඩ ලබාදීමත් රැඳවුම් හෝ රැඳිවියන්ට සිදුවෙන්නාවූ යම් අකටයුතුකම් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි පරීක්ෂණයන්ට ලබාදීම සහ ඔවුන්ගේ මාර්ගෝපදේශයන්ට අනුකූල ලෙස කටයුතු කිරීමට රජය වගවී ඇති ආකාරයද හෙතෙම පෙන්වා දුන්නේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රජය විසින් තවරදුරටත් සිදුකරගෙන යන්නාවූ ක‍්‍රියාමාර්ග පිළිබඳව සිය අදහස් දැක්වූ විදේශ ලේකම්වරයා වර්තමානයේ පවත්නා ආරක්ෂක අභියෝගයන්ට අනුකූල වන පරිදි ත‍්‍රස්තවාදය වැළැක්වීමේ කෙටුම්පත සකස් කර ගැනීම මේ මොහොතේ වහා සිදුකළ යුතු කර්තව්‍යක් බව අවධාරණය කළේය. එසේම මෙම ත‍්‍රස්ත ක‍්‍රියාව සිදුවීමෙන් පසු රජය විසින් සමාජ මාධ්‍යජාල කිහිප වරකදී උපායික ලෙස නවතා දැමීම සහ පාලනය කිරීම හරහා එම සමාජ මාධ්‍යජාලයන් තුළ දේශීය භාෂාවන්ගෙන් හුවමාරුවන පණිවුඩ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් එම සමාජ මාධ්‍යජාල හිමි ආයතන යොමු කළ බවද හෙතෙම පැවසීය. එසේම ප‍්‍රචණ්ඩත්වය ඇති කිරීම සඳහා ත‍්‍රස්තවාදීන් විසින් අන්තර්ජාලය යොදාගැනීම වැළැක්වීම ශ‍්‍රී ලංකාවට තනිව සිදු කළ නොහැකි කාර්යයක් හෙයින් ප‍්‍රංශය සහ නවසීලන්තයේ ප‍්‍රමුඛත්වයෙන් දියත්කර ඇති ‘ක‍්‍රයිස්චර්ච් කෝල් ටු ඇක්ෂන්’ වැනි ගෝලීය වැඩපිළිවළ සඳහා එක්වීමට ශ‍්‍රී ලංකාවද සිය අභිලාෂය දක්වා ඇති බවද හෙතෙම පැවසීය. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සහ විදේශයන්හි ආරක්ෂක අංශ අතර තොරතුරු හුවමාරුව,

සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම, සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු ආදිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණෙන් ත‍්‍රස්තවාදය වැලැක්වීම හා ප‍්‍රචණ්ඩ අන්තවාදය වැලැක්වීම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශයන්ට විශේෂ පුහුණු ලබාදීම සම්බන්ධීකරණය සහ එම කරුණු සම්බන්ධයෙන් ජාත්‍යන්තර විශේෂඥයන් මෙරටට ගෙන්වා ගැනීම වැනි කටයුතු සදහා විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත් වූ බවද ආර්‍ය්‍යසිංහ මහතා පැවසිය. එසේම මෙම අංශයන් සම්බන්ධයෙන් විදේශ රාජ්‍යයන් විසින් ගෙන ඇති පියවර විමර්ශණය කර එවායින් අප බලාපොරොත්තු වන්නාවූ ප‍්‍රතිඵල ලබාගැනීම සදහා ශ‍්‍රී ලංකාවේ වාතාවරණයට අනුකූල වන අයුරින් යොදාගැනීම අප සිදු කළ යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් ආර්ථිකයට සිදුවූ පසුබෑම මැඩපැවැත්වීම වඩාත්ම භාරදූර අභියෝගයක් බව පැවසූ ආර්‍ය්‍යසිංහ වසර 30ක කාලයක් පුරා එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට මුහුණ දෙමින් රටේ ආර්ථිකය පවත්වාගෙන ගිය ආකාරයෙන්ම ශ‍්‍රී ලංකාව සිය දරාගැනීමේ ශක්තිය මෙම අවස්ථාවේදීද ප‍්‍රකට කර ඇති බව පැවසීය. ත‍්‍රස්ත ප‍්‍රහාරය සිදුවී මාස හතරක් වැනි සුළු කාලයකදී රටෙහි ආර්ථිකය 3.2% වර්ධනයක් පෙන්නුම් කරන බව පැවසූ ආර්‍ය්‍යසිංහ එයට ප‍්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගෝලීය සැපයුම් ජාලයෙහි විශ්වසනීය පුරුකක් ලෙසට ශ‍්‍රී ලාංකික ව්‍යාපාරික ප‍්‍රජාව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ගොඩනංවා ඇති කීර්ති නාමය බවද පැවසීය.

එසේම සංචාරයකයන් පැමිණෙන ප‍්‍රධාන රාජ්‍යයන් තමන් පනවා තිබූ අනතුරු ඇඟවීම් මේවන විට ඉවත් කිරීම ශ‍්‍රී ලංකාව තුළ සුරක්ෂිතභාවය හා ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකා රජයට සහ එහි ආරක්ෂක අංශයන්ට හැකිබවට ඔවුන් තුළ ඇති විශ්වාසය ප‍්‍රකට කරන්නකි. එසේම රටේ ප‍්‍රතිරූපය ගොඩනැංවීම සඳහා රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයද සිදුකර ඇති ක‍්‍රියාකාරකම් සාධනීය ප‍්‍රතිඵල පෙන්වා ඇති අතර ශ‍්‍රී ලංකා සංවර්ධන ප‍්‍රවර්ධන අධිකාරිය විසින් පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවූ ආසන්නයේ ප‍්‍රකාශ කළ 2019 වසරෙහි 30% වූ සංචාරයකයන්ගේ අවපතන අගය මේ වන විට 10% දක්වා අඩුවීම මෙම ක‍්‍රියාකාරකම්වල සාර්ථකත්වය පෙන්වන්නක් බව හෙතෙම පැවසීය.

වර්තමානයේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් සඳහා භාජනය විය හැකි සෑම රටකින්ම ශ‍්‍රී ලංකාවට කරුණු උගත හැකි අතර සිය අත්දැකීම්ද අධ්‍යනයක් ලෙස ශ‍්‍රී ලංකාව සිය දැනුමට එක් කර ගතයුතු බව පැවසූ විදේශ ලේකම්වරයා ‘මෙම අභියෝගයට මුහුණදීමට නම් රජය විසින් සියල්ල සිදුකළයුතුය යන මතයෙන් බැහැරවී මුළු සමාජයම අවශ්‍ය පියවර ගත යුතුය යන මතයට එළෙඹිය යුතුයැයි’ හෙතෙම සිය දේශනයේදී අවධාරණය කළේය.

SL Army Media

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව