ඉස්ලාම් ආගමික නායකයන්ගේ උපදෙස් අනුව මුස්ලිම් ජනතාවගේ ගැටලුවලට විසඳුම් දෙනවා! – ජනපති

May 9, 2019 at 11:27 am | by admin

ත‍්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග‍්‍රහණය කර නොමැති බවත් අන්තවාදී ත‍්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ‍්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (08දා) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.

මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේ අප්‍රේල් 21 වනදා සිදුවීම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නයක් නොව ජාත්‍යන්තරය හා සම්බන්ධ වූ ත‍්‍රස්ත ක්‍රියාවක් බවයි.

මෙම ජාත්‍යන්තර ත‍්‍රස්ත කණ්ඩායමට එරෙහිව ලොව බලවත් රටවල් නැඟී සිටියදී ඊට සම්බන්ධවූවන් මෙරටින් විනාශ කර දැමීමේ මෙහෙයුම් අපගේ ආරක්ෂක අංශ මේ වන විට සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය

ආරක්ෂක අංශ මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු මේ වන විට නව මුහුණුවරක් සහ සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක වන බවත් එම වැඩපිළිවෙළ මඟින් සියලු පුරවැසියන්ට බියෙන්, සැකෙන් තොරව නිදහස් සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කර තිබෙන බවත් හෙතෙම පැවසීය.

ත‍්‍රස්තවාදය විනාශ කර දැමීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දි මෙම සිදුවීම හමුවේ පසුබෑමට ලක් වූ ජන ජිවිතය යථා තත්ත්වයට ගෙන එමින් ජනතාව අතර බිය, සැක දුරුකොට විශ්වාසය සහ අවබෝධය ගොඩනැඟමට රාජ්‍ය නිලධාරින් මැදිහත් විය යුතු බව ද ජනාධිපවරයා කියා සිටියේය.

එසේම ඉස්ලාමීය ආගමික නායකයන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා ලබාදිය හැකි සියලු විසදුම් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස