ජාතික ආරක්ෂක මහ පුටුව අසූවිය සපුරන ආචාර්ය අමුණුගමට ජනපති ලබා දුන් උපන්දින ත්‍යාගයද?

July 9, 2019 at 5:03 pm | by emanisa.lk

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන ඇති අතර ආචාර්ය සරත් අමුණුගම එහි සභාපති ධුරයට පත් කර තිබේ. මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැව්, නීතිඥ ජාවිඩ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන් කටයුතු කරයි.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට තම අදහස් සහ යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් දායකත්වය ලබා දීම මෙම උපදේශක මණ්ඩලයේ වගකීමය.

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයේ සභාපති ධුරය දරන ආචාර්ය සරත් අමුණුගම සමාජවිද්‍යා ආචාර්ය උපාධිධරයෙකි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකි. කීර්තිමත් පරිපාලන නිලධාරියෙකි. කවියෙකි. සාහිත්‍යධරයෙකි. සන්නිවේදන විශේෂඥයෙකි. ඇමතිවරයෙකි.

1957 පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට පිවිසි සරත් අමුණුගමගේ ගුරුවරු අතර ස්ටැන්ලි තම්බයියා, ගණනාථ ඔබේසේකර, රැල්ෆ් පීරිස් ආදීහු වූහ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඇසුරු කිරීමේ භාග්‍යය ද නාට්‍ය කිහිපයක රඟපෑමේ අවස්ථාව ද ඔහුට හිමි විය.

ඉතාම ඉහළ අධ්‍යාපනයක් සහ රාජ්‍ය සේවයේ විශිෂ්ට අත්දැකීම් සමග දේශපාලනයට පිවිසි අමුණුගම සමාජවිද්‍යාව, සන්නිවේදනය, දර්ශනය, සාහිත්‍ය කලාව ආදී බොහෝ ක්ෂේත්‍ර පිළිබඳ ප්‍රාමාණික උගතෙකි. බොහෝ චාම් ගති පැවතුම් ඇති නිහඬ දේශපාලනඥයෙකි.

1939 ජුලි මස 10 වෙනිදා උපත ලැබූ ආචාර්ය සරත් අමුණුගම සිය ජීවන ගමන් මගේ 80 වැනි වියට පා තබන අවස්ථාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයේ සභාපති ධුරය පිරිනැමීම ජනාධිපතිවරයා ලබා දුන් කදිම උපන් දින ත්‍යාගයක් ද?

කෙසේ වුවද ඇතැම් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ධුරය භාර ගැනීමට කිසිදු තරුණ මන්ත්‍රීවරයකු අකමැති වූ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස