ජවිපෙ ජනපති අපේක්ෂකයා කවුරු වුණත් අනාගතයේ නතර වෙන්නේ සිරිකොතේ!

August 17, 2019 at 8:01 am | by emanisa.lk

ජනතා විමුක්‌ති පෙරමුණ අවසාන වශයෙන් 1999 වර්ෂයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ අපේක්‍ෂකයා වන නන්දන ගුණතිලක මේ වනවිට එක්‌සත් ජාතික පක්‍ෂයේ පානදුර නගරාධිපතිවරයා ලෙස කටයුතු කරන්නා සේම ‘ජාතික ජන බලවේගය’ ලෙස ජවිපෙ හෙට (18දා) ඉදිරිපත් කරන මෙවර ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ද අනාගතයේ දී සිරිකොතෙන් නතර වන බව ඉර හඳ මෙන් විශ්වාස යැයි ගම්පහ දිස්‌ත්‍රික්‌ එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි ඊයේ (16දා) පැවසීය.

එම අපේක්‍ෂකයා කවුරුන් වුවද ඔහුගේ අනාගත භාවිතය එසේ වන බවද ජවිපෙ මේ වනවිට සිරිකොතේ ඉඳුල් එකතු කරන බක්‌කියක්‌ වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේද සඳහන් කළේය.

“විද්වත් වෘත්තිකයන් පාර්ලිමේන්තුවට ගේනවා කියලා ජවිපෙ ගිය මහ මැතිවරණයේ වෘත්තිකයන්ව ජාතික ලැයිස්‌තුවට නම් කළා. ඔවුන්ගේ ලැයිස්‌තුවේ එකටම හිටියේ හිටපු විගණකාධිපති සරත් මයාදුන්නේ මහත්මයා. නමුත් ලැබුණු ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරය ඔහුට නොදී හිටියා. ඉතින් ඔවුන් වෘත්තිකයන් දැන් පිළිගන්නේ නෑ.

අද රට තියෙන්නේ ඛේදනීය තත්ත්වයක. මේකට ජවිපෙ වගකිව යුතුයි. මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වයෙන් බිහිවන රජයක්‌ යටතේ ජනතාවට කිසිම පීඩනයක්‌ ඇති නොවන්න වග බලා ගන්නා බවට ඔවුන් ගිය ජනාධිපතිවරණයේදී ජනයාට සහතික දුන්නා. ඒත් ජනතාව අද දුකේ ආර්ථිකවත් සමාජයීයවත්, ආරක්‍ෂාව පැත්තෙනුත් ජනයා පීඩාවට පත් වෙලා.

රටට එරෙහිව යහපාලන ආණ්‌ඩුව ගත්ත හැම තීරණයකටම පක්‍ෂව ජවිපෙ හිටියා. අතුරුදන් වූවන්ගේ ලේකම් කාර්යාලයක්‌ පිහිටුවනවාට ඔවුන් පක්‍ෂ වුණා. කොටි ත්‍රස්‌තවාදීන්ට වන්දි ගෙවීමේ යටි අරමුණින් ගෙනා හානිපූරණ පනතට ජවිපෙ සහාය දුන්නා.

මැතිවරණ කල්දාන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක්‌ ගන්න ඔවුන් සහාය දුන්නා. ජනතාවට මේවා මතකයි.

මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදී පුත්තු හිටපු ඊබ්‍රාහිම් තාත්තා නියෝජනය කරන ජනතා විමුක්‌ති පෙරමුණට මෙවර ජනාධිපතිවරණයේදී ජනතාව හොඳ පාඩමක්‌ උගන්වනවා නිසැකයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව