ඉදිරි සති දෙක ඉතාම භයානකයි! සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග ගන්න! – විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්

April 8, 2020 at 4:55 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සඳහා ඉදිරියේ දී ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිනිය හා විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන් අතර ඊයේ (07) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කර තිබේ .

මෙහිදී එම සති දෙකක කාලයෙන් අනතුරුව ද අවශ්‍ය වුවහොත් ඉහත ආකාරයෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැන්වීමට කටයුතු කරන බව ඇමැතිනිය ප‍්‍රකාශ කර තිබේ .

මෙහිදී ප‍්‍රජා වෛද්‍ය සංගමය විසින් කරුණූ දක්වමින් හැකිතාක් දුරට පුද්ගලික වාහන ගමනාගමනය අවම කරගැනීම, තම නිවසට ආසන්න කුඩා වෙළෙඳසලකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට යොමුවීම, පොදු වාහන භාවිතයේ දී දුරස්ථභාවය පවත්වාගෙන යාම, නිරන්තරයෙන් දෑත් සේදීම ආදී කරුණූ පිළිබද අත්‍යවශ්‍ය කරුණ ඉදිරි මාස 06 සඳහා පවත්වාගෙන යාම සුදුසු බව දන්වන ලදී. ඒ පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප‍්‍රජාව දැනුවත් කිරීම වඩාත් සුදුසු බව ද එම සංගමය මෙහිදී පෙන්වා දෙන ලදී. පොදු ප‍්‍රවාහනයේ දී දුරස්ථභාවය ඇතිව ගමන් කළ යුතු බවට ක‍්‍රමවේදයක් සකස් කොට එය රට පුරා ක‍්‍රියාත්මක කරන ලෙසට ජනාධිපති කාර්ය සාධක බලකායට දැනුම්දීමට කටයුතු කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර මෙහිදී කියා සිටියේ ඇදිරි නීති කාලසීමාව ක‍්‍රමාණුකූලව ඉවත් කිරීමෙන් පසු පොදු ජනයා අපහසුතාවට පත් නොවන අයුරු අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සහ ආසාදිතයින් හදුනාගැනීමේ වැඩපිළීවෙළක් ක‍්‍රියාත්මක කළ යුතු බවයි. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ බුද්ධි අංශ හරහා අවශ්‍ය තොරතුරු ලබාගෙන වසංගත රෝග විද්‍යා ඒකකය සහ සම්බන්ධ වී ඒ සදහා අවශ්‍ය පියවර ගත යුතු බවයි.

නීති විරෝධී ලෙස පුද්ගලයින් රට තුළට ඇතුලු වීමේ අවදානම, මාර්තු 15 සිට 20 දක්වා විදේශයන් හී සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයින් ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතු කිරීම, වයස අවුරුදු 60 ට වැඩි ස්වසන රෝග ඇති පුද්ගලයින් සඳහා සංකූලතා ඇතිවීමෙ වැඩි අවදානමක් ඇති බැවින් ඔවුන් නිවෙස් තුළම රැදී සිටිය යුතු බවට වන පණිවුඩය සමාජ ගත කිරීම යන කරුණු ක්ෂුද්‍ර වෛද්‍ය සංගමය විසින් පෙන්වා දෙන ලදී.

ප‍්‍රතිකාර සහ පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු යාවත්කාලීන කිරීම සදහා කණ්ඩායම් දෙකක් මේ වන විට යොදා ඇති අතර, ඉදිරියේ දී රෝගය පැතිරීම වැළැක්වීමට ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු කිරීම සදහා තවත් කණ්ඩායමක් පත් කිරීමට ද මෙහිදී තීරණය කරන ලදි.

බෙහෙත් වට්ටෝරු නිවාස වෙත යැවීමේ කාර්යයේ දී ඇතැම් පුද්ගලයින් හට ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇති බැවින් වැඩිහිටි ලේකම් කාර්යාලය හරහා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනිය විසින් මෙහිදී දැනුම් දී තිබේ .

මේ වනවිටත් කොරෝනා වෛරස් ආසාදනයේ ප‍්‍රතිකාර කටයුතු සදහා යටිතල පහසුකම් සැළැස්මක් සකස් කොට ඇති බවත්, මුල්ලේරියාව රෝහලේ මාතෘ හා නව ජන්ම ඒකක වැඩිදියුණු කිරීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටි අතර, අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය සදහා ජංගම සී ටී ස්කෑනර් යන්ත‍්‍රයක් ස්ථාපිත කිරීම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමැතිනිය විසින් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා) වෙත උපදෙස් ලබාදෙන ලදී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස