හදිසියේ දැවී කඩා වැටුණු ප්‍රංශයේ හදවත! නෝත්‍ර දාම් දේවස්ථානයේ කතාව!

April 17, 2019 at 1:38 pm | by admin

හදිසියේ දැවී කඩා වැටුණු ප්‍රංශයේ හදවත! නෝත්‍ර දාම් දේවස්ථානයේ කතාව!

ලොව පුරා කිතුණුවන්ගේ ඉමහත් ගෞරවරයට පත් වසර 850 ක ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රංශයේ පැරිස් නුවර පෞරාණික නෝත්‍ර දාම් ප්‍රධාන දේවස්ථානයේ පසුගිය 15 වන දා ගින්නක් ඇති විය. මේ හේතුවෙන් නෝත්‍ර දාම් දේවස්ථානයේ කොත ඇතුලු කොටසක් මුලුමනින්ම විනාශයට පත් විය.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට කුරුසයේ ඇණ ගැසීමට පෙර උන්වහන්ගේ හිස මත පැළඳ වූ කටු ඔටුන්න ඇතුලු පෞරාණික වස්තු රැසක් මෙම දේවස්ථානය තුළ තැන්පත් කර තිබුණි.

වසර 850ක දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි පෞරාණික නෝට්‍ර ඩාම් ප්‍රධාන දේවස්ථාන ගොඩනැගිල්ල ලොවපුරා ඉමහත් සංචාරක ආකර්ශනයක් හිමිකරගෙන ඇති කිතුණු දේවස්ථානයකි.

අයිෆල් කුළුන හා සමානවම ප්‍රංශයේ පැරිස් නුවර පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය ලොවට කියාපෑමේ සංකේතයක් බවට පත්ව ඇති නෝට්‍ර ඩාම් ප්‍රධාන දේවස්ථාන ගොඩනැගිල්ල තුල ඊයේ (15) පස්වරු 6.30ට පමණ අනපේක්ෂිත ගින්නක් හටගත්තේය.

එම ගින්න නොබෝ වේලාවකින් දේවස්ථානය දැවමය වහලයට සහ කොත ප්‍රෙද්ශයට පැතිර ගිය අතර ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් 400කට අධික පිරිසක් අනුයුක්ත කිරීමට ප්‍රංශ බලධාරීහූ කඩිනමින් පියවර ගනු ලැබුහ.

නමුත් පැය 9ක් පුරා නොනවත්වවා ඇවිළ ගිය ගින්න හේතුවෙන් දේවස්ථානයේ වසර 850ක් පැරණි කොත ගිනිගෙන දැවී කඩාවැටීම වළක්වාගැනීමට ගිනිනිවන භටයින්ගේ උත්සාහය ප්‍රමාණවත් වූයේ නැත.

දේවස්ථානයේ වහල ගිනිබත් කරමින් ගින්න පැතිර යන අවස්ථාවේ ගිනි නිවන හමුදාවේ මීළඟ ප්‍රයත්නය බවට පත්වූයේ දේවස්ථානයේ පෞරාණික ඝණ්ඨා කුළුණු ද්විත්වයට ගින්න පැතිර යාම වැළැක්වීමයී.

ඒ අනුව ගිනි නිවන භටයින් රැය පුරා ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම් දියත් කළ අතර නෝට්‍ර ඩාම් ප්‍රධාන දේවස්ථානය අසබඩින් ගලාබසින සෙයින් නදියේ ඉවුරට රැස්වූ දහස් ගණනක් ප්‍රංශ ජනතාව සිය පෞරාණික උරුමය ගිනිගෙන විනාශ වන අයුරු බලාසිටියේ කදුළු පිරි දෙනෙතින් යුතුවය.

ප්‍රංශ ජාතික කාන්තාවක් මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“නෝත්‍ර ඩාම් දෙස්වස්ථානයට මෙවැනි ව්‍යසනයක් වුණා කියලා මට හිතාගන්නවත් බැරිවුණා. ඒ අවස්ථාවේ ක්ෂණිකව උපකාර කිරීම සඳහා ඉදිරිපත් වීමට තිබූ සම්භාවිතාව ශුන්‍යයි.(අතිශය විරලයි)

ගිනි නිවීමේ පද්ධතියක් හෝ ආරක්ෂක පද්ධතියක් තිබුණ බවක් පෙනී යන්නේ නැහැ. මීට සතියකට කලින් මම නෝත්‍ර ඩාම් දෙස්වස්ථානයට පැමිණියා. කෙසේ වෙතත් වෙන්න තිබුණු ඛේදවාචකයක් ඉවෙන් වගේ දැනුණ නිසා මම ඒ තුළට ගියේ නැහැ.”

පැරිස් වැසියෙක් කියා සිටියේ මෙවැනි දෙයකි.

“මෙම ගින්න හට ගැනුණේ, ප්‍රංශ වේලාවෙන් පස්වරු 6.30ට පමණ. ඒ අවස්ථාවේ මම දේවස්ථානය තුළ සේවය කරමින් හිටියේ. ඒ පිළිබඳව දැනුවත් වූ වහාම මම ඉන් පිටතට ගියා.

අපි සියලු දෙනාම කම්පනයට පත්කරමින් එය එක්වරම ගිනි ජාලාවකින් වැසී ගියා. ඒ වෙලාවේ ගිනි නිවන භටයින් ඇවිත් ප්‍රදේශය වසා දමා ආරක්ෂක කලාපයක් නිර්මාණය කර ගින්න පාලනය කරන්න දැඩි පරිශ්‍රමයක් දැරුවා.

එහෙත් ප්‍රදේශය තුළ පැවති දැඩි සුළං තත්ත්වය සමග ගින්න නිරන්තට දිශාව වෙනස් කරමින් සිඝ්‍රයෙන් පැතිර ගියා.

අපි අපේ ඇස්වලින්ම දැක්කා එහි වහලය කඩා වැටෙනවා. ඒ වෙලාවේ දැනුණු කම්පනයෙන් මිදෙන්න තවමත් අමාරුයි. ඒ වසර 850ක ඉතිහාසයක්. ඒක ඇත්තටම ගොඩක් වේදනාකාරියි. අපි ගොඩක් දුකින් ඉන්නේ.”

කෙසේ වෙතත් පැය කිහිපයක් මුළුල්ලේ දේවස්ථාන ගොඩනැගිල්ල පිටත සහ ගොඩනැඟිල්ල අභ්‍යන්තරයේ සිට සිදුකළ ගිනි නීවීමේ මෙහෙයුම්වලින් අනතුරුව අද අලුයම කාලය වනවිට ඝණ්ඨා කුළුණු ද්විත්වය සහ දේවස්ථානයේ ප්‍රධාන ආකෘතිය විනාශ වීම වළක්වාගැනීමට ගිනි නිවන කණ්ඩායම් සමත්විය.

ඒ අනුව ප්‍රංශයේ ඓතිහාසික උරුමයකට දැඩි අලාභහානී සිදුකරමින් විනාශකාරී ලෙස පැතිරුණු ගින්න මුළුමනින්ම පාලනය කිරීමට සමත්වූ බව ගින්න ආරම්භ වී පැය 09ක කාලයකට පසු පැරිස් බලධාරීහු නිවේදනය කළහ.

ගින්නට හේතුව නිශ්චිත වශයෙන් මේ වනතෙක් හඳුනාගෙන නොමැති නමුත් මීට මාස කිහිපයකට පෙර ආරම්භ කර මේ වනවිට සිදුවෙමින් පවතින දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සිදුවූ අතපසුවීමක ප්‍රතිපලයක් ලෙස මෙම ගින්න හටගන්නට ඇති බවට සැකපල කෙරෙයි.

කෙසේවෙතත් ගින්න හටගන්නා අවස්ථාවේ එහි අලුත්වැඩියා රාජකාරීවල නිරත සේවකයින් වැඩ අවසන් කර ඉන් පිටත්ව ගොස් සිටි බව ද වාර්තා විය.

වසර 850 ක් පැරණි දේවස්ථානයේ බිත්තිවල පැළුම් දක්නට ලැබුණු නිසා මීට මාස කිහිපයකට පෙර එහි පලංචි ඉදිකර ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරනු ලැබු අතර ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එහි තිබූ පැරණි ප්‍රතිමා 16ක් ගොඩනැගිල්ලෙන් ඉවත් කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම දේවස්ථානය තුළ තිබූ මිල කළ නොහැකි පෞරාණික වටිනාකමකින් හෙබි වස්තු අතර මූලිකත්වයක් ගන්නා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමට පෙර උන්වහන්සේට පැළඳු කටු ඔටුන්න නිරුපද්‍රිතව දේවස්ථාන ගොඩනැගිල්ලෙන් පිටතට ගැනීමටද හැකියාව ලැබුණු බවද පැවසෙයි.

ගින්නෙන් ජීවිත හානී කිසිවක් වාර්තා නොවන අතර ගින්න මැඩපැවැත්වීම අතරතුර ගිනි නිවන භටයෙක් සුළු තුවාල ලබා තිබුණි.

කෙසේවෙතත් සිදුවීම සැලවූ වහාම ප්‍රංශ ජනාධිපති එමානුවෙන් මැක්‍රෝන් සියලු දෙනාගේ සහය ලබාගෙන එළඹෙන වර්ශ කිහිපය තුළ නෝට්‍ර ඩාම් දේවස්ථානය යළි ගොඩනැගීමට පොරොන්දු විය.

මේ අතර මේ වනවිටත් දේවස්ථානය නැවත ගොඩනැගීම සඳහා අරමුදලක් ආරම්භ කර ඇති අතර එරට ව්‍යාපාරික පවුලක් එම අරමුදල සඳහා යුරෝ මිලියන 200ක මුදලක් ආධාර සැපයිමට පොරොන්දු වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සිදුවීම සම්බන්ධයෙන් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ලෝක උරුමයක් වන නෝත්‍රදාම් දේවස්ථානය නැවත ඉදිකරන මෙහෙයුමේදී ශ්‍රී ලංකාව ප්‍රංශ ජනතාව සමඟ ශක්තිමත්ව එක්ව සිටින බවයි.

එමෙන්ම ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්, බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ඇතුළු ලොව ප්‍රධාන පෙලේ රාජ්‍ය නායකයින් රැසක් සිදුවීම සම්බන්ධයෙන් ශෝකය පලකරමින් ට්විටර් පණිඩිව නිකුත් කර තිබුණි.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් සිය කණගාටුව ප්‍රකාශ කර තිබූ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ගිනි නිවන ගුවන් යානා යොදාගනිමින් ගින්න මැඩපැවැත්වීම සිදුකළ හැකි අතර ඉක්මනින්ම ඒ සඳහා පියවර ගත යුතුව ඇති බවයි.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ යෝජනාව ප්‍රතික්ෂේප කරමින් ප්‍රංශ සිවිල් ආරක්ෂක සේවය ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබූ අතර ඔවුන් ඒ හරහා සඳහන් කර තිබුණේ ගුවනින් ගිනි නිවීමේ ක්‍රමවේදය යොදාගැනීම තුලින් ගොඩනැගිල්ලේ ආකෘතිය මුළුමනින්ම කඩාවැටීමේ අවධානමක් මතුවිය හැකි බවයි.

ප්‍රංශයේ හදවත ලෙසින් සැලකෙන නෝත්‍රදාම් දේවස්ථානය ප්‍රංශ ග්‍රෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨත්වය ලොවට විදහාපාන ලෝක පූජිත නිර්මාණයක් වන අතර එහි ඉදිකිරීම් ආරම්භ වී ඇත්තේ 07 වන ලුවිස් රජුගේ කාලයේදීයී.

ප්‍රංශයේ ගොතික් කලාවෙන් පරිපූර්ණ දේවස්ථානයක්ද වන නෝත්‍රදාම් දේවස්ථානයේ ඉදිකිරීම් 1163 වර්ශයේ ආරම්භ වූ අතර 1345 වසරේදී ඉදිකිරීම් අවසන් වූ එහි ඉදිකිරීම් සඳහා ගතවූ කාලය වසර 200කට ආසන්නයි.

වසර 850ක ඉතිහාසයකට උරුමකම් කියන නෝත්‍රදාම් දේවස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක්ද වෙයි.

මෙම ලෝකයේ තවත් ප්‍රචලිත වූයේ ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ ජාතික නවකතාකරුවෙක්, කවියෙක් සහ නාට්‍ය රචකයෙක් වන වික්ටර් හියුගෝ විසින් රචනා කර 1831දී ප්‍රකාශයට පත්කළ නෝත්‍රදාම් ඩේ පැරිස් නොහොත් පැරිසියේ අපේ මව නැමැති නවකතාව නිසාය.

වසරකට සංචාරකයින් 140ක් පමණ මෙම දේවස්ථානය සියැසින් දැකබලාගැනීම සඳහා මෙහි පැමිණිනෙන බව ප්‍රංශ වාර්තාවල සඳහන්ය.

1804 වර්ශයේදී ප්‍රංශ අධිරාජ්‍යා ලෙස නැපෝලියන් අධිරාජ්‍යයාගේ රාජාභිෂේක උළෙල පවත්වා ඇත්තේද නෝත්‍රදාම් දේවස්ථානයේදී වන අතර ප්‍රංශ ජනාධිපතිවරුන් රැසකගේ අවමංගල්‍ය උත්සවද මෙහි පවත්වා තිබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස