ලංකාව සිංහල බෞද්ධ රටක්! මුස්ලිම්වරු සිංහලෙන් කතා කරන්න ඕන! බුදු පිළිම කඩන්නේ නූගත් අන්තවාදියෝ! සිංහල දෙමළ කියන්නේ මුස්ලිම් අපේ අයියලා! මේ රටට ලී ක්වාන් යූ වගේ නායකයෙක් ඕන! – බේරුවල නගරාධිපති

February 3, 2019 at 7:16 am | by admin

ඔබේ නම: මුෂාහිම් මොහොමඞ්

තනතුර: මම බේරුවල නගර සභාවේ නගරාධිපති.

තෙවතාවක් බේරුවල නගර සභාවේ නගරාධිපති ධූරයට පත්වන මුෂාහිම් මොහොමඞ් වසර අටක් බේරුවල ආසනයේ එ.ජා.ප. සංවිධායක ධුරය හෙබවූවෙකි. මෙරට පළාත් පලන ආයතනවල නගරාධිපතිවරුන් අතරින් ඔහුගේ තනතුර සුවිශේෂ වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව බේරුවල සිංහල මුස්ලිම් බහුතර ඡන්දයෙන් එම ධුරයට පත්වීම නිසාය. ඒ හැරුනකොට අළු යට ඇති ගිනි මෙන් කලින් කලට පැන නගින ජාතිවාදී ගිනි පුපුරු නිවා දැමීම සඳහා වන වැදගත් තීන්දුවක් බේරුවල ප‍්‍රාදේශිය සභාවේ සම්මත කරගැනීමට මුල් වීම ඔහුගේ දේශපාලන දැක්ම විශද කරවයි. මෙරට තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම සහ අන්‍ය ජාතීන් සිංහල ඉගෙන ගැනීම අනිවාර්ය බවට වන එම වැදගත් යෝජනාවේ අරමුණ ජතික මට්ටමේ මාතෘකාවක් ලෙස සංවාදයට බඳුන් විය යුතු බව අපගේ හැගීමය. කෙසේ වෙතත් මෙවැනි තීන්දුවක් ගැනීම සහ එහි ඇති හරය කුමක්ද? අපි ඔහුගෙන්ම විමසුවෙමු.

මම දේශපාලනය කරන්න ඇවිත් තිස්පස් අවුරුද්දක් වෙනවා. මේ කාලය තුළ මම දේශපාලන ආභාසය ලැබූ චරිත දෙකක් තියනවා. එක්කෙනෙක් මගේ මාමා වන ඉමිතියාස් බාකිර් මාකර්. පොඩි කාලේ ඉඳන් මම දැක්ක දෙයක් තමයි අපේ මුස්ලිම් මිනිස්සු සිංහල පත්තරයක් කියවන්න දන්නෙ නෑ. සිංහල නොදන්නකම නිසා ආයතනයකට ගිහින් ඉල්ලූම් පත‍්‍රයක් පුරවල වැඩක් කරගන්න දන්නෙ නෑ. උසාවියකට ගියත් එහෙමයි. නඩුකාර හාමුදුරුවෝ කියන එක තේරුම් ගන්න බැහැ. පොලීසියට ගියත් එහෙමයි. ඒ අය අනාථ වෙනවා. මේ ඔක්කොටම මුල දෙමළ භාෂාව කතා කිරීම තමයි. සිංහල භාෂාව කතා කළා නම් ඒක ඉගෙනගෙන හිටියනම් මේ ඔක්කෝම ප‍්‍රශ්න වලට උත්තරය ලැබෙනවා.

රාජකාරී සහ පරිපාලන අවශ්‍යතා මත පමණද සිංහල රාජ්‍ය භාෂාව විය යුතුයි කියන යෝජනාව බේරුවල නගර සභාවේ සම්මත කර ගත්තේ?

නැහැ… සංහිදියාව පිළිබඳව දැන් කතාකරනවනේ. මේක තමා සංහිදියාවක් ඇතිකිරීම සඳහා හොඳම තුරුම්පුව. පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ හෝ නැත්නම් නගර සභාවේ අපි කොච්චර සංහිඳියාව ගැන කතා කළත් වැඩක් නෑ මේක ක‍්‍රියත්මක කරන්නෙ නැත්නම්.

ඔබ හිතන විදියට මේක ක‍්‍රියාත්මක නොකෙරෙන්නෙ ඇයි. මොකක්ද තියන ගැටලූව?

මේක නොකෙරෙන ගැටළුව තමයි සිංහල දමිළ මුස්ලිම් වශයෙන් පාසැල් වෙන් කර තිබීම. ජාතීන් වෙන් වෙන්ව ඉන්න ඕන කියල ඔළුවලට දාලා තියෙන්නෙ පුංචි කාලේ ඉඳලම. ඇයි මෙහෙම පාසැල් වෙන් කරන්නෙ. මම දන්නවා මුස්ලිම් ළමයි සිංහල ඉගෙන ගන්න ආසයි. ඒ පාසැල් වලට ගිහින් සිංහල ඉගෙන ගන්න කැමතියි. ජාතීන් අනුව පාසැල් වෙන්කර විශේෂත්වයක් දක්වන්න හොඳ නෑ. මුල ඉඳලම වරද්දගත්තෙ එතන.

මේ යෝජනාව බේරුවල නගර සභාවේ සම්මත කරගැනීමේදී මුස්ලිම් සහෝදරවරුන්ගෙන් හෝ බාධා පැමිණියේ නැතිද?

නැහැ.. කිිසි කෙනෙක්ගෙන් බාධා ආවේ නෑ. හැමෝගෙන්ම ලැබුණෙ ආශිර්වාදය විතරයි. අපි හදන්නෙ මේ ප‍්‍රශ්නෙ අපිට පුළුවන් සීමාවේ ඉඳගෙන හෝ විසඳන්න මිසක් ප‍්‍රශ්න ඇති කරන්න නෙවේනේ. ඒගොල්ලෝ ඒක තේරුම් ගත්තා. දැන් ලංකාවේ කි‍්‍රස්තු භක්තිකයෝ ඉන්නවා. එයාලා කතා කරන්නෙ සිංහල. හැබැයි අදහන්නෙ වෙන ආගමක්. එයාලට කිසිම ප‍්‍රශ්නයක් නෑ. තමන්ගෙ ආගම අදහාගෙන මේ රටේ හොඳට ජීවත් වෙනවා. මුස්ලිම් ජාතිකයනුත් මෙහෙම කළා නම් එයාලට කිසිම ප‍්‍රශ්නයක් වෙන්නෙ නෑ. සිංහල මුස්ලිම් අතර තියෙන දුරස්ථ බව අඩු වෙනවා. ඉස්සර මහතිර් මොහොමඞ් මැලේසියාව ගන්නකොට චීන කට්ටියයි එහේ ඉන්න මුස්ලිම් අයයි ගහගත්තා. මෙහේ දෙමළ සිංහල අය ගහගන්නවා වගේ. අවස්ථාවාදී දේශපාලකයෝ අනාගතයේදී මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කරන්න උදව් කරන්න පුළුවන් මේ තත්ත්වය නිසා. ඒක අපි දැන්ම නැති කරන්න ඕන.

මුස්ලිම් ජනතාව එක ගොනුවට ජීවත්ව ගම්මාන පුළුල් කරමින් ව්‍යාප්තවාදය සිදුකරන බවට මතයක් හැදෙමින් පවතිනවා. මේ කාරණය ඔබේ චින්තනයත් සමග ගැටෙනවා නේද.. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

මුස්ලිම් අය එකට ජීවත්වීම එයාලගේ සංස්කෘතික ලක්ෂණයක්. ලෝකෙ කොහෙත් මුස්ලිම් අය ජීවත් වන්නෙ එහෙම තමයි. ඕනම රටක අන්තවාදී පිරිස් ඉන්නවා. ඔවුන් තමයි බුදු පිළිම කඩන්නෙ, පන්සල්, පල්ලි වලට ගහන්නෙ. අන්තවාදී පිරිස් බිහිවෙන්නෙ නූගත්කමින්. කවදාවත් ඉගෙන ගත්ත කෙනෙක් එහෙම කරන්න යන්නෙ නෑ. එදා වේල හරියට බඩට කන්න නොලැබුණ අය තමා ඔය එහෙම කරන්නෙ. ඔය දරිද්‍රතාවය, දුප්පත්කමින් පෙළෙන අයට අරක්කු පොඩිඩක් දීලා රුපියල් සීයක් දාහක් සාක්කුවට දැම්මම ඕවා කරනවා. දෙපැත්තෙම වෙන්නෙ ඕක. සමහර බල ලෝභී කට්ටිය ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා මේ අය උපයෝගී කරගන්නවා. අනික මුස්ලිම් අය එකට ඉන්නවා වගේම ව්‍යාපාර කිරීම එයාලගේ උරුමයක්. ලෝකෙ කොහෙත් එහෙමයි. ලෝක පලකයෝ මුස්ලිම්වරුන්ට දීලා තියෙන දැවැද්දක් ඒක. ඒකට අපි ඊර්ෂ්‍යා කරලා හරියන්නෙ නෑ. දැන් බලන්න සිංහල දෙමළ ව්‍යාපාරිකයෝ ගොඩාක් අය ඉන්නවා මුස්ලිම් අය සමග එකට ඉඳලා බිස්නස් දියුණු කරගත්ත අය. රත්නපුරේ කළින් මැණික් බිස්නස් කළේ මුස්ලිම් අය විතරයි. එයාලගෙන් ඉගෙන ගෙන කෝටිපතියෝ වෙච්ච මැණික් බිස්නස් කරන අය දැන් ඉන්නවා. එහෙ සිංහල මුස්ලිම් අය හරි යාළුයි කවදාවත් එයාල අතර ජාති භේද ප‍්‍රශ්න ඇතිවෙලා නෑ. දැන් බේරුවලත් එහෙමයි. සිංහල ඉගැන්වීම තුළින් ඒක අපිට වැඩි දියුණු කරගන්න පුළුවන්.

ඔබ වගේ අය මෙහෙම සිතනකොට දර්ගා ටවුන් වල ගැටුමක් ඇතිවුණේ කොහොමද?

දර්ගා ටවුන් වල ප‍්‍රශ්නයක් ඇතිවුණා නෙමෙයි ඇති කළා. දර්ගා ටවුන් වල ප‍්‍රශ්නය ඇති කළ අය තෝරල බේරල ගත්ත නගරයක් ඒක. බේරුවලවත් දර්ගා ටවුමේවත් මුස්ලිම් හෝ සිංහල කවුරුවත් ඒ ප‍්‍රශ්නය ඇති කළේ නෑ. පිටින් ආව පිරිසක් තමා ඒ ප‍්‍රශ්නය ඇති කළේ. සංවිධානාත්මකව පිටින් ඇවිත් ගැටුම ඇති කළේ.

වර්තමානයේ මේ රටේ පවතින පරිපාලන ක‍්‍රමය වෙනස් විය යුතු බව දමිළ දේශපාලකයන් හඩ නගනවා. ඔබ සිතන්නෙ පවතින ක‍්‍රමය හොඳද වෙනස්විය යුතුද?

පරිපාලන ක‍්‍රමයේ අණ පනත් වෙනස් වෙන්නට ඕන. දැන් බලන්න මේ බේරුවල නගර සභාව ගත්තොත් අපිට එක පාරක් කාපට් කරන්න ලක්ෂ සීයක් යනවා. මේවා කරන්න මුදල් ඕන. මුදල් මේ සභාවෙන්ම හොයාගන්න පුළුවන්කම තිබ්බත් අපිට අණපනත් හරස් වන නිසා ඒක කරන්න බෑ. බේරුවල නගරයේ සමහර ඉඩම් කෝටි ගානක් වටිනවා. ඉඩමක සැලැස්මක් අනුමත කරගන්න ආවම අපිට අය කරගන්න අවසර තියෙන්නෙ රුපියල් දාහයි. හැබැයි මිනිස්සු කැමතියි ලක්ෂ ගානක් වටින ඉඩමකට රුපියල් දහදාහක් ගෙවන්න. ඒත් අපිට අණපනත් නිසා ගන්න බෑ. දැන් ලංකාවේ කෝටි ගණන් මැණික් මිළදී ගන්න ව්‍යාපාරිකයෝ ඉන්නෙ මෙහේ. දවසකට කෝටි දහය පහලොව මැණික් ගල් ගන්න තැන් තියනවා. වසරකටම අපිට එයාලගෙන් ගන්න අවසර තියෙන්නෙ රුපියල් තුන්දාහයි. ඉතින් සුළු ගානක් අය කරල කොහොමද ප‍්‍රදේශයකට වැඩක් කරන්නෙ.

බේරුවල ආසනය යෝජිත සීමානිර්ණය අනුව ජන පදනම මත කඩා වෙන්කිරීමට සැරසෙනවා. මෙයින් සිදුවන්නෙ සිංහල මුස්ලිම් ජනයා වාර්ගික පදනම මත යළි වෙන් කිරීමක් නේද?

මුස්ලිම් ජනතාව අතර ලොකු කළකිරීමක් ඇති වෙලා තියනවා අපි කොච්චර ඡන්දය දුන්නත් අපේ වැඩ කරගැනීමට මන්ත‍්‍රීවරයෙක් නැහැ කියල. ඉතින් මුස්ලිම් ජනතාවට කියල වෙනම නියෝජනයක් තිබුණානම් ඒ ප‍්‍රශ්නය ඇති වෙන්නෙ නෑ.

මේ බෙදා වෙන් කිරීම ඔබේ සංහිදියා ප‍්‍රතිපත්තිය එක්ක ගැටෙනවා නේද?

නැහැ. ඒක කළා කියලා සංහිදියා ප‍්‍රතිපත්තිය සමග ගැටෙන්නෙ නෑ. සේවයක් වෙන්නෙ නැති ජනතාවගේ ගැටළු විසඳීමට පාර්ලිමේන්තු නියෝජනයක්නෙ මේ ඉල්ලන්නෙ.

නැහැ. මම අහන්නෙ සිංහල හෝ මුස්ලිම්වරුන්ට කියල ආසනය වෙන් කිරීම තුළින් ජනතාව බෙදීමකට පාර කැපීමක් සිදුවෙනවා නේද?

නෑ නෑ එහෙම වෙන්නෙ නෑ. වෙන් කරල දුන්නනම් මුස්ලිම් මිනිස්සු වෙනුවෙන් පත්වෙන කෙනාට දිස්ති‍්‍රකයටම වැඩ කරන්න පුළුවන්. එච්චරයි.

සමාජයේ වරින් වර ආන්දෝලනයට තුඩු දෙන සංවේදී මාතෘකාවකට මම දැන් ඔබේ අවධානය යොමු කරන්නෙ. පල්ලි වල ශබ්ද විකාශන යොදා යාඥා කිරීම වගේම පිරිත් විකාශනය වීමට විරුද්ධව හඩ නැගෙන අවස්ථා තියෙනවා. මේ රටේ ආගමික නිදහස පිළිබඳ ඔබේ දැක්ම මොකක්ද?

මේක සිංහල බෞද්ධ රටක්. ඒක අපි පිළිගන්නවා වගේම හැමෝම පිළිගත යුතුයි. මේ රටේ ජීවත්වන බහුතර මුස්ලිම් ජනතාව හිතන්නෙ එයාලට අයියල දෙන්නෙක් ඉන්නවා කියලයි. පළවෙනියා තමයි සිංහල. දෙවෙනියා දමිළ. මේ අයියලා දෙන්නත් එක්ක එකතුවෙලා මේ රට දියුණු කරන් ජීවත් වෙන්නයි අපිට ඕන. මුස්ලිම් අයට ඕන ව්‍යාපාර කරගන්නයි. එයාලගේ ප‍්‍රධානම දේ ඒක. ගැටුම් ඇතිවුණොත් ව්‍යාපාර කරගන්න බෑ. ආගමික සංහිදියාව ඇති වෙන්න අපි අනිත් ආගම් වලට ගරු කරන්න පුරුදු වෙන්න ඕන. ඉස්ලාම් ආගමේ අනිවාර්යයෙන් ඒක කරන්න ඕන කියල කියල තියෙනවා. අන්‍යොන්‍ය අවබෝධයයි නම්‍යශීලිත්වයයි අවශ්‍ය. අපි විශ්වාස කරන විදියට ගහකින් කොළයක් වැටෙන්නෙ නෑ. ලෝක පාලකගේ අනු දැනුමක් නැතිව. ඉතින් බුදුහාමුදුරුවෝ වගේ ශාස්තෘවරයෙක් පහළවෙන්නෙත් එහෙම. ඒ නිසා මොහොමද් තුමා ගැන වගේ බුදුහාමුදුරුවෝ සහ ජේසු තුමන් ගැනත් අපට විශ්වාසය තියෙන්න ඕන. පන්සිල් පද පහ වගේ ඉස්ලාම් ආගමෙත් අනිවාර්්‍යයෙන් රැකිය යුතු පද පහක් තියෙනවා. එකම දෙවියයි එයාගේ දූතයා තමයි මොහොමද් නබි නායක තුමා. ඒක පළවෙනි එක. දවසට පස්වතාවක් ආගම අදහන්න ඕන. චංචල නිශ්චල දේපළ වලින් සියයට දෙකහමාරක් දුගී මගී යාචකයින්ට දෙන්න ඕන. නැත්නම් එයා මුස්ලිම් වෙන්නෙ නෑ. අනික නෝම්බි අල්ලන්න ඕන මාසයක්. මක්කම යන්න ඕන. ආගම් කර්තෘවරු පහළ වෙලා තියෙන්නෙ එහෙම සමාජයට හොඳ කරන්න.

විල්පත්තු කැලය එළි කර මුස්ලිම්වරුන්ට ජනපද පිහිටුවනවා කියා විශාල චෝදනාවක් තියනවා. ඔබ එය දැනුවත්ද?

විල්පත්තුවේ අරිචිචකට්ටුව ගැන මම හොඳට දන්නවා. ඉස්සර අපි සත්තු බලන්න යනකොට එහේ නැවතිලා තියෙනවා. ත‍්‍රස්තවාදින් ඒ මුස්ලිම් ගමේ හිටිය ජනතාව ගහල එලෙව්වා. යුද්දෙන් පස්සෙ මිනිස්සු ආයෙත් ගිහින් පදිංචි වුණා. රිෂාඞ් බදුයුර්දීන් ඒ ගම හදන්න උදව් කළා. හැබැයි ඔහු වැරැද්දක් කළා. ගම හදන්න පෙර එතන තිබුණ කැඞී බිඳි ගිය පල්ලිය, නටඹුන්ව ගිය ගෙවල් ඇතුළෙන් ගස් වැවී ඇති ඉස්සර ගම මාධ්‍යට පෙන්වලා මේක කළානම් කව්රුවත් මොනවත් කියන්නෙ නෑ.

ඔබගේ මේ සංහිදියා ප‍්‍රතිපත්තිය සිංහල ඡන්ද කඩාගන්න කරන උප්පරවැට්ටියක් කියල කෙනෙකුට චෝදනා කරන්න පුළුවන්?

අමුතුවෙන් සිංහල ඡන්ද කඩාගන්න මට අවශ්‍ය නෑ. මට සිංහල ඡන්ද තියෙනවනෙ. ඕන කෙනෙකුට ඕන විදියට හිතන්න පුළුවන්. මේ පාර මම දිනුවේ ස්වාධීනව. හැමෝගෙම ඡන්දයෙන්. ඒ මම වැඩ කරන නිසා.

මේ රටේ සෑම ජනවර්ගයකටම ඔබ අවසාන වශයෙන් දෙන පණිවුඩය කුමක්ද?

මට කියන්න තියෙන්නෙ මම ඇප්ලිකේෂන් දාලා ඉස්ලාම් අම්මගේ බඬේ ඉපදුනේ නෑ. ඔබ තුමා බෞද්ධ ද කතෝලික ද කියල මම දන්නෙ නෑ. අපි කව්රුවත් එහෙම ඇප්ලිකේෂන් දාලා ඉපදිලා නෑ ඉපදුනාට පස්සෙයි අපි ආගම් වලට බෙදිල ඉන්නෙ. මම කියන්නෙ ඉපදුන රටට බරක් නොවී අපි යමක් කරන්න ඕන. මම හැමදාමත් ඒක කළා. මම අහුන්ගල්ලෙ සත්තුවත්තක් හැදුවේ ඒ චේතනාවෙන්. ඒ ගමේම මිනිස්සු ඒකෙන් ජීවත් වුණා. ප‍්‍රදේශයේම තිබුණ පන්සල් වල මම ප‍්‍රධාන දායකයා. හැබැයි මම ඉස්ලාම්. අන්තිමේදී මට ගහන්න එක සිද්ධියක් මුල් කරගෙන සත්තු වත්ත වහල දැම්මා. මොකද මම යූ.ඇන්.පී නිසා. මට ප‍්‍රශ්නයක් වුණේ නෑ. ඒකෙන් බඩට වැදුණේ ගමේ ජීවත් වූ මිනිස්සුන්ට. ඒකයි මම කියන්නෙ මේ රට දියුණු කරන්න ලී ක්වාන් යූ වගේ නායකයෙක් ඕන කියල.

එහෙම නායකයෙක් පේන්න ඉන්නවද?

දැන්නම් පේන තෙක් මානයක නෑ. මහින්ද මහත්තයාට එහෙම පෞරුෂයක් තිබ්බා. ඒත් වටේ හිටිය අය එතුමාව විනාශ කළා.

සාකච්ඡා කළේ – තිස්ස ගුණතිලක
දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *