චෛත්‍යය මත නැඟී ඡායාරූප ගත් කල්ලියේ 7ක් අත්අඩංගුවට!

January 23, 2019 at 4:33 pm | by admin

හොරොව්පතාන, කිරලාගල පුරාවිද්‍යා රක්ෂිතයේ නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මත සිට පිරිසක් ගත් ඡායාරූප ගත් අග්නිදිග විශ්විද්‍යාලයේ සැකකාර සිසුන් 07දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම චෛත්‍ය මත නැග අදාළ පිරිස ලබාගත් ඡායාරූප පසුව සමාජජාල මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. ඉන් පසුව ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා බලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත. මේ ක්‍රියාවට එරෙහිව සමාජජාලාවල විශාල විරෝධයක් මතු වූ අතර මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට විරුද්ධව කොළඹ ප්‍රදේශයේ දේශපාලකයෙක් බලපෑම් කර ඇති බවට ද තොරතුරු ලැබී තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. මණ්ඩාවල මහතා කියා සිටියේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම ක‍්‍රියාවට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි.

පුරාවස්තු ආඥා පනත යටතේ ඔවුන් සිදු කර ඇත්තේ අපරාධ නීතිය යටතට ගැනෙන වරදකි. මොවුන් ති‍රිකුණාමලය සහ අම්පාර ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

හොරොව්පතාන නගරයට ආසන්නයේ ඇති කිරලාගල මෙම විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයකි. එය ක‍්‍රිස්තු වර්ෂ 3 වන සියවසට අයත් බවට විශ්වාස කෙරෙන අතර විහාර භූමියෙහි සෙල් ලිපි කිහිපයක් ද තිබේ.

මෑතක දී ඓතිහාසික පිදුරංගල පර්වතය මත නැඟ අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජජාලා වෙත මුදා හැරීමට පසු වාර්තා නවතම සිද්ධිය මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස