මුලතිව් විහාරයේ බුද්ධ ප්‍රතිමාව තැනීම අත්හිටුවයි!

January 25, 2019 at 6:07 am | by admin

මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාර භූමියේ සියලු ම ඉදිකිරීම් පෙබරවාරි 12 වන දා දක්වා අත්හිටුවන ලෙස මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තෛපොංගල් සැමරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පැමිණ නයාරු ගුරුකන්ද පුරාණ රජ මහා විහාර භූමියේ කෝවිලක් ඉදිකිරීමේ උත්සහයක නිරත වූ බවට ජනවාරි 14 වන දා චෝදනා එල්ල විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් කියා සිටියේ, විහාරය පිහිටි ස්ථානයේ හින්දු ජනතාවගේ වන්දනාමානයට ලක් වූ පාරම්පරික කෝවිලක් පිහිටි බවය.

එළැඹෙන නඩු වාර දිනයේදී පුරාවිද්‍යා දෙපාර්ත‍මේන්තුව විසින් විහාරස්ථානය සම්බන්ධයෙන් නිකුත් කරන ලද ගැසට් නිවේදන ඇතුළත් වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා හරහා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

විහාරස්ථානය පිහිටි ස්ථානයට දළදාව වැඩමවා ඇති බවත් බුද්ධ වර්ෂ 244 සමයේ සිට සටහන් විහාරස්ථානයේ පවතින බවත් විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති හිමියෝ පවසති.

2013 අගෝස්තු 16 වන දා නිකුත් කළ 1823/73 ගැසට් නිවේදනය අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අක්කර 93 ක භූමියක් විහාරස්ථානයට වෙන් කරනු ලැබ ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

“යුද්දේ කාලයේ පන්සල ඉස්සරහා පොඩි දේවාලයක් හදලා යුධ හමුදාවේ කට්ටිය හා දෙමළ ජනතාව පූජා පවත්වලා තියෙනවා. ඒත් මේ විහාරස්ථානය ගැන අතීත තොරතුරු බුද්ධ වර්ෂ යුගය දක්වා විහිදෙනවා,” උන්වහසේ වැඩිදුරටත් සඳහන් කළහ.

කෙසේ වුවද මෙම තහනම නිසා විහාරයේ ඉදිවෙමින් පැවති බුද්ධ ප්‍රතිමාවේ කටයුතු නතර වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස