පාලකයන් සම්බන්ධයෙන් ජනතාව විනිශ්චයක් ලබාදිය යුතුයි! – අගරදගුරුතුමා

August 28, 2019 at 10:39 am | by emanisa.lk

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වු ජනතාවගේ හදවත් සැනසීම සඳහා ඔවුන්ට සත්‍ය හෙළි කිරීම අපගේ වගකීමක් බවත් කිසිදු දිනක තමන් යම් පක්ෂයට පක්ෂපාතීව කථා සිදු නොකර බවත් ජනතාව ඒ සම්බන්ධයෙන් විනිශ්චය කිරීම සිදුකළ යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

ඊයේ (27) උදෑසන ඉතාලියේ රදගුරු මණ්ඩලයේ සභාපතිවරයා සමඟ දළදා මාළිගාවේ සංචාරයකට එක් වෙමින් උන් වහන්සේ මෙම අදහස් පළ කළහ.

“මේ ප්‍රශ්නයෙන් පිඩාවට පත්වෙලා අසරණ වෙලා ඉන්න පවුල්වල උදවිය අපෙන් අහනවා ඇයි අපිට මේ වගේ දෙයක් කළේ කියලා. ඔවුන් සැනසීම අපගේ අද වගකීම වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් එක එක කුමන්ත්‍රණ සම්බන්ධයෙන් ආරංචි තියෙනවා. ඒ ගැන හොද අධ්‍යයනයක් කරන තුරු අපට සැනසීමෙන් ඉන්න බැහැ. අපි බලාපොරොත්තු වෙනවා බලයේ ඉන්න අය මිට වඩා දෙයක් කරන්න ඕනේ. ඒ වගේමයි බලයේ ඉන්න අය කියනවා එක එක දේවල් කරනවා කියලා. නමුත් මේ ගැන ස්වාධින කොමිසමක් පත් කරලා ඒ සම්බන්ධයෙන් කරුණු හොයන්න. විපක්ෂයේ අය පොරොන්දුවක් දුන්නා කියලා හරියන්නේ නැහැ. බලයේ ඉන්න අය මොකක් හරි කරන්න ඕනේ. මම ජනාධිපතිවරයාටත් මේ ගැන ලියුවා, නමුත් මේ දක්වා එතුමාගෙන් මට පැහැදිලි පිළිතුරක් ලැබුනේ නැහැ. ජන්දය තියන්න කලින් මේ ප්‍රහාරයෙන් පිඩාවට පත්වෙලා ඉන්න ජනතාවගේ පිඩාව ගැන බලයේ සිටින අය කල්පනා කළ යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. නමුත් එතුමාට බලයක් නැහැ. ඊට වඩා ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේ බලයේ ඉන්න අය මේ සම්බන්ධයෙන් දෙයක් කරන්න ඕනේ. මේ රටේ නිදහසින් පස්සේ ලබාදුන්නු පොරොන්දු කියෙන් කියක් ඉටුවුණාද කියන එක ජනතාව දන්නවා.

ජනාධිපතිවරයා පත් කරපු කොමිෂන් සභාවේ වාර්තාව මේ දක්වා සාමාන්‍ය ජනතාවට නිකුත් කරලා නැහැ. මට උත්තරයක් එවලා තියෙනවා නීතිපතිතුමා තීරණය කරනකම් ඒ ගැන කිසිවක් කරන්න බැහැ. රතුපස්වල ඝාතනයන් ගැන පමණක් නෙවෙයි ඊට කලින් සිදුවූ ඝාතන සම්බන්ධයෙන් සිදුකරපු පරීක්ෂණ ගැන බලන්න. රෝහණ විජේවීරට මොකද වුණේ? කිසිදු දේශපාලන බලපෑමක් නැති ඕනෑම අයෙක්ට එරෙහිව තීරණ ගැනීමට හැකි ස්වාධින කොමිෂන් සභාවක් පත් කිරීමක් කළ යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස