ජවිපෙ හඳුන්ගේ තවත් බොරුවක් අතේ පත්තුවෙයි! ලක්ෂ හයේ පුටු කතාව පට්ට කෙබරයක්!

February 16, 2020 at 3:00 pm | by emanisa.lk

තම ඇමති කාර්යාලයේ පාවිච්චි කිරීමට ලක්ෂ හයක පුටුවක් මිල දී ගෙන ඇතැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිදුකළ ප්‍රකාශයෙහි කිසිදු සත්‍යතාවක් නැතැයි ඇමති විමල් වීරවංශ පවසයි.

ඒ පිළිබඳ ඔහු නිකුත් කර ඇති නිවේදය මෙසේය.

මා අමාත්‍ය ධුරයට පත්වූ පසුව මාගේ පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් පළමුව නිර්මාණය කොට, දෙවනුව එම පුවත උපුටා දක්වමින් මඩ ගැසීමේ උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිරතව සිටින බව දැක ගත හැකිය. මුළුමනින්ම අසත්‍ය එම පුවත හා ප්‍රකාශය පළමුකොටම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධුරය සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය ධුරයෙහි ද වගකීම් මා හට පැවරී ඇත. මා වෙනුවෙන් ඉහත අමාත්‍යාංශ දෙකෙහිම නිල කාර්යාල වෙන්ව තිබුණ ද වැඩ භාරගත් දිනයේ සිටම අමාත්‍ය ධුර දෙකෙහිම රාජකාරි කටයුතු මා සිදු කරන්නේ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශයෙහි මා හට හිමිව ඇති නිල කාර්යාලය පමණක් යොදා ගෙන ය. එම කාර්යාල පරිශ්‍රය තුළ මා වැඩ භාරගනු ලැබුවේ 2019 නොවැම්බර් 25 වනදා ය. ඒ වන විටත් එහි තිබූ කාර්යාලීය භාණ්ඩ පරිහරණය පිණිස යොදා ගත්තා මිස මා වෙනුවෙන් කිසිඳු අයුරකින් අලුත් කාර්යාලීය භාණ්ඩ මිලදී ගැනීමක් සිදුවී නොමැත.

අපට ඇත්තේ ‘පුටු හා ඈඳුන සුඛ විහරණය පිළිබඳව ප්‍රශ්නයක්’ නොව මේ රට ‘සෞභාග්‍යයෙන් පිරි රටක්’ බවට පත් කිරීමේ උවමනාව ය. අප මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයක් ඇති කොට රටට ජීවයක් ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටින මේ මොහොතේ ඒ කෙරෙහි රටට ආදරය කරන ජනතාව දෑස් දල්වා බලා සිටිති. ඒ පිරිස් තුළ අප කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීම මේ මඩ අවලාද නිර්මාණය කරන්නන්ගේ උවමනාව විය හැක. එහෙත් තමන් ‘ඉල්ලූ රට’ නිර්මාණය වන ආකාරය දෙස බලා සිටින ජනතාව මේ ‘කැටයම් දමා ඉදිරිපත් කරන ජවිපෙ බේගල්’ පයට පෑගෙන දුහුවිල්ලක් තරම්වත් ගණන් නොගන්නා බව අපට දැඩි සේ විශ්වාස ය.

විමල් වීරවංශ (පා.ම.),
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ව්‍යවසාය සංවර්ධන,
කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය
2020.02.16

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස