ගෝඨාට ජම්පර් අන්දන්න පාරම්බෑ හේෂාට ජම්පරේට බහින්න වෙයි! වහාම අත්අඩංගුවට ගන්න අධිකරණ නියෝගයක්!

September 30, 2019 at 10:01 pm | by emanisa.lk

රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන පොලිස් අධිකාරීවරයෙකු මගින් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් කේ.පී.ආර්.එල්.විදානගමගේ අද (30) වරෙන්තු නිකුත් කළාය.

මන්ත‍්‍රීවරයාට විරුද්ධව ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට ඔහු දිගින් දිගටම ඉදිරිපත් නොවීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබුණි.

මන්ත්‍රීවරයා සතු ගොඩනැඟිල්ලක් බදු දී තිබිය දී එම ස්ථානයේ දොරගුළු වෙනස් කර එහි තිබූ රන් භාණ්ඩ තොගයක් රැගෙන ගොස් ඇති බවට ව්‍යාපාරිකයකු සිදුකළ පැමිණිල්ලක් අනුව නඩුවක් ගොනු කර තිබූ අතර ඇප මත නිදහස් වී සිටින මන්ත්‍රීවරයා පිට පිට දෙවාරයක් අධිකරණය මගහැර තිබිණි.

මෙහිදී විත්තිකාර මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ විත්තිකරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවත්, අද දිනයේ ඔහු වෙනුවෙන් ඔහුගේ මව හා පියා අධිකරණයට පැමිණ ඇති බවත්ය.

පැමිණිල්ලට වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සිරාෆ් යූසුස් අධිකරණයට කරුණු දක්වමින් සැකකරු නීති හදන තැනක සිටින බැවින් ඔහු ආදර්ශවත් පුද්ගලයෙකු ලෙස තමන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින නඩුව වෙනුවෙන් අධිකරණයට පැමිණිය යුතු බව පෙන්වා දුන්නේය. අපරාධ නඩුවක චූදිතයකු වන ඔහු වගකිව යුතු කෙනෙකු ලෙස අධිකරණයට පැමිණිය යුතුව තිබුණේ යැයි ද අවධාරණය කළේය.

දේශපාලන වේදිකාවල විවිධ පුද්ගලයන්ට ජම්පර් අන්දවන බව සැකකරු පවසන නමුත් ඔහු නීතියට හිස නොනමන බැවින් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරන්නැයි ද නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේ සැකකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන මහතාට වරෙන්තු නිකුත් කළ මහේස්ත‍්‍රාත්වරිය පොලිස් අධිකාරීවරයෙක් මගින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස