ව්‍යවස්ථාදායක සභාවට ජනපති නැඟූ චෝදනා පාරා වළල්ලක් වන ලකුණු! අභියාචනාධිකරණ සභාපති ධුරයට ජනපති ඊයේ දුන් නම අද යළි කැඳවයි!

March 18, 2019 at 8:55 pm | by admin

අභියාචනාධිකරණ සභාපති ධුරය සඳහා ඊයේ (17) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නිර්දේශ කර යැවූ අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහගේ නම ජනාධිපතිවරයා අද (18) නැවත කැඳවා ඇතැයි ජනාධිපති මන්දිර ආරංචි මාර්ග සඳහන් කරයි. එම විනිසුරුවරිය වෙනුවට වෙනත් අයකු අභියාචනාධිකරණ සභාපති ධුරයට පත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

මීට පෙර අභියාචනාධිකරණ සභාපති ධුරයට ජනාධිපතිවරයා නිර්දේශ කළ අභියාචනාධිකරණ විනිසුරු දීපානි අබේසුන්දරගේ නාමය කරූ ජයසූරිය සභාපතිත්වය දරන ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කිරීම නිසා අර්බුදයක් හට ගත්තේය. එම විනිසුරුවරිය කුප්‍රකට සුදු කොඩි නඩුවට ලබා දුන් තීන්දුවට පළිගැනීමක් ලෙස මෙම ප්‍රතික්ෂේප කරන බවට චෝදනා නැගිණි. එම කාලය තුළ දීපානි විජේසුන්දර අභියාචනාධිකරණ වැඩ බලන සභාපතිනිය ලෙස සති දෙකෙන් දෙකට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

ඒ අවස්ථාවේ ව්‍යවස්ථාදායක සභාව අගමැති හිතවතියක වන අල්ලස් හා දූෂණ කොමිසමේ හිටපු සභාපතිනී දිල්රුක්ෂි ඩයස් මහත්මිය එම තනතුරට ගෙන ඒමේ සැලසුම අනුව දීපානි විජේසුන්දරගේ නාමය ප්‍රතික්ෂේප කරන බවට චෝදනා නැඟිණි. පසුගිය දා ජනාධිපතිවරයාගේ එම ක්‍රියාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කිරීමට කටයුතු කර තිබිණි.

ජනාධිපතිවරයා දීපානි විජේසුන්දර විනිසුරුවරිය වෙනුවට කුමුදුනී වික්‍රමසිංහ විනිසුරුවරිය අභියාචනාධිකරණ සභාපති ධුරයට පසුගියදා නිර්දේශ කළේ එම පසුබිමේය. කෙසේ වුවද එම නිර්දේශය පැය විසි හතරක් තුළ නැවත කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසා සති ගණනාවක් ජනපති සහ ව්‍යවස්ථාදායක සභාව අතර සිදු වූ කඹ ඇදිල්ල නිසා මතු වූ අර්බුදය නිමා වෙතැයි පැවති බලාපොරොත්තුව සුන් වී ගියේය.

ව්‍යවස්ථාදායක සභාවෙ සිය නිර්දේශ දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් රටේ පාලන කටයුතු අවුල් කරන බවට බවට ජනාධිපතිවරයා පසුගිය සමයේ දිගින් දිගටම චෝදනා කළ ද ජනාධිපතිවරයාගේ මෙම හැසිරීම සමග එම චෝදනා ඔහු වෙත පාරා වළල්ලක් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස