දිල්රුක්ෂි ඩයස් ගොනුකළ ඇවන්ගාර්ඩ් නඩුවෙන් ගෝඨා නිදහස්!

September 23, 2019 at 11:17 am | by emanisa.lk

ඇවන්ට්ගාඩ් නඩුවේ අල්ලස් සිද්ධියකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (23) නියෝග කළාය.

සිද්ධියට අදාළව අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව මෙම සැකකරුවන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරිය අද අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් වෙත එය දැනුම් දෙන ලෙස නියෝග කළේය.

රුපියල් බිලියන 11.4 ක් රජයට පාඩු කළැයි ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මගින් මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

මෙම නඩුව නීතියට පටහැනිව ගොනු කර ඇති හෙයින් එය විභාග කිරීමට අයිතියක් නැතැයි පවසා ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ කොළඹ මහ අධිකරණයෙන් ඉල්ලා සිටිය ද එම ඉල්ලීම් ප්‍රතික්ෂේප විය. කෙසේ වුවද අහියාචනාධිකරණය එම ඉල්ලීම පිළිගෙන ගෝඨාභය ඇතුළු විත්තිකරුවන් නිදහස් කරන ලෙස නියෝග කළේය.

මෙම විත්තිකරුවන් අතර ජයන්ත පෙරේරා, ජයනාත් කොළඹගේ සහ සෝමතිලක දිසානායක යන හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙකු ද පාලිත ප්‍රනාන්දු සහ බී.එගොඩවෙල යන විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල්වරු දෙදෙනා ද වෙති.

දේශපාලන බලපෑම් මත ඇවන්ගාර්ඩ් ආයතනයට සහ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමට සිදු වූ බවත් තමා ඒ පිළිබඳ බෙහෙවින් කනගාටු වන බවත් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ දිල්රුක්ෂි ඩයස් පසුගියදා හෙළිකළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස