කොටි පැරදූ ජනාධිපති ධුරය යහපාලන ආණ්ඩුව දුර්වල කළා! විධායක ජනාධිපතිකම රැකගන්න 2/3ක බලයක් දෙන්න! – ප්‍රවීණ රංගන ශිල්පි පාලිත සිල්වා

July 21, 2020 at 11:33 pm | by emanisa.lk

එදා 1815 උඩරට නිළමේලා සහ විදෙස් ආක්‍රමණිකයන් එකතු වී තැනූ ආණ්ඩුව සහ 2015 යහපාලන ආණ්ඩුව අතර කිසිම වෙනසක් නැතැයි ප්‍රවීණ රංගන ශිල්පි පාලිත සිල්වා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ වස්කඩුව යූත් ක්‍රීඩා සමාජය (19) සංවිධානය කළ ‘යෞවනයට ඇමතුමක්’ ජනහමුවට එකතු වෙමිනි.

“2005 මහින්ද මහත්තයා බලයට පත්වූ දා සිට අපේ කඳවුරේ සිටි පිරිසක් 2015දී අප අතහැර පළා ගියා. ඔවුන් පළා ගියේ රට ඉතාම තීරණාත්මක සංධිස්ථානයකට අරන් ඇවිල්ලා. ඒ සඳහා මහින්ද මහත්තයා රට වෙනුවෙන් සිදුකළ සියලු ප්‍රගතිශීලී වැඩ අවඥාවට ලක් කරන වැඩපිළිවෙළක් දියත් වුණා. ඒ පිරිස අවසානයේ ජාත්‍යන්තර බල උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක පංගුකාරයෝ වුණා.

එදා උඩරට නිළමේලා ටිකකුයි සුද්දොයි එකතු වෙලා 1815 ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුවට එරෙහිව 1817-18 වෙද්දි අවි ඔසවපු වෙල්ලස්සෙ මිනිස්සු කිව්වේ එළ හරකයි මී හරකයි එකට නඟුලේ බැඳලා හාන්න හදනවා වගේ ආණ්ඩුවක් කියලා. හරක් දෙන්නා දෙපැත්තට අදිනවා. ඒක තමයි අපේ ඇතැම් පාලකයෝ අධිරාජ්‍යවාදයට කත් අදින්න පටන් ගත්ත පළමු අවස්ථාව.

ඊට හරියට අවුරුදු 200කට පස්සේ 2015 මේ වගේම ආණ්ඩුවක් නැවත ලංකාවේ බිහිවුණා. ඒ ආණ්ඩුවට විරුද්ධව එදා නැඟි සිටින්නවත් කවුරුවත් හිටියේ නෑ. ගෙවිඳු කුමාරතුංග ප්‍රමුඛ යුතුකම සංවිධානය අපට මුණ ගැහෙන්නේ මෙන්න මේ වගේ භයානක අවස්ථාවක. ඒ රණවිරුවන්ට, දේශප්‍රේමීන්ට, භික්ෂූන් වහන්සේලාට වගේම බුද්ධි අංශවලට හිරේ විලංගුවේ ළඟින්න වුණ අවස්ථාවක රට වෙනුවෙන් ඉදිරියට ආව යුතුකම සංවිධානය අපි හැමදාම අගය කරනවා.

මේ රටේ ඉන්නවා කාලෙකට දේශප්‍රේමය පහළ වෙන තව කාලෙකට දේශප්‍රේමය හොයාගන්නත් නැති බුද්ධිමත්තු කියාගත්තු අපූරු පිරිසකුත්. නමුත් ගෙවිඳුලා අනුපලා කියන්නේ රට වෙනුවෙන් අසීරුතම මොහොතේ නොබියව පෙනී සිටි නියම දේශප්‍රේමී බුද්ධිමත්තු. රට ඉතාම අඳුරු යුගයක ඉඳලා නැවත යහපත් දිශාවකට යොමු කරන්න පුළුවන් අවස්ථාවක් එනතුරු යුතුකමේ ගෙවිඳුලා අනුපලා මොන තරම් මහන්සියෙන් වැඩ කළා ද කියලා අපි දැක්කා.

අද ටිකක් මහන්සි දවසක් වුණත් ඔවුන් කළ කැප කිරීම වෙනුවෙන් යුතුකම ඉටු කරන්න තමයි අද මම මෙතනට ආවේ. මං අද මෙතනට නො ආවා නම් ඒ පිළිබඳ හෘද සාක්ෂියට වැරදිකරුවෙක් වෙනවා. ඒ ජනතා හෘද සාක්ෂියම තමයි එදා 2015 සිදු වුණු වරද නිවැරදි කරලා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට ඔසවා තබන්න එකතු වුණෙත්. අපි 69 ලක්ෂයක් එකතු වෙලා පත්කළ ජනාධිපති ධුරය නියම විධායක ජනාධිපති ධුරයක් ලෙස සුරක්ෂිත කිරීමේ අත්හළ නොහැකි වගකීමත් අප ඉදිරියෙහි තියෙනවා. එහෙම නොවුණොත් නැවතත් කටකතා මඩ අවලාද බලකාය ජනතාව අතරට රිංගලා පරණ සෙල්ලම පටන් ගන්නවා. රට අස්ථාවර කරනවා.

එදා කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රට නැවත එක්සේසත් කරන්න ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හැකියාව ලැබුණේ විධායක ජනාධිපති ධුරය නිසා බව අප කිසිවිටකත් අමතක නොකළ යුතුයි. ගැමුණු, විජයබා රජවරුන්ට එදා රට වෙනුවෙන් යුද්ධ කරද්දි විදෙස් බලපෑම් තිබුණේ නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඒ විදෙස් බලවේග සමගත් සටන් කරමින් තමයි මේ ත්‍රස්තවාදය පරාජය කරන්න සිද්ධ වුණේ.

ඉන්දියාවේ රෝ සංවිධානය මේ රටේ නිර්මාණය කළ ත්‍රස්තවාදී කණ්ඩායම් තිස් ගණනකින් අන්තිමට ඉතිරි වුණ සංවිධානය තමයි කොටි කියන්නේ. ආර්.එන්. කාවෝ තමයි රෝ සංවිධානය හදන්නේ. ඔහු තමයි මේ රටේ යුද ගැටුම් හදන්න උතුරේ ත්‍රස්ත සංවිධාන හදන්නේ. අදත් සමහර ඊනියා බුද්ධිමත්තු කතා කරනවා ජනවාර්ගික අර්බුදය, දේශපාලන විසඳුම් ගැන. කොටි කියන්නේ බළල් අතක් විතරයි. ඒක කියන්න අපි බියවිය යුතු නෑ.

ඒ සටන ජයගන්න මහින්ද මහත්තයාට ලේසි වුණේ නෑ. ඒ සඳහා යෝධ ශක්තියක් වුණ ආරක්ෂක ලේකම්තුමා අද අපේ ජනාධිපතිතුමා. එතුමාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන ක්‍රියාවට නඟන්න අපි 2/3ක බලයක් සහිත ආණ්ඩුවක් නිර්මාණය කළ යුතුයි. ගෝඨාභය දැක්ම ශක්තිමත් කිරීම වෙනුවෙන් කළුතරින් මැතිවරණයට ඉදිරිපත් වන අනුපටත් මනාපයක් සලකුණු කරන්න. එමගින් අපට අලුත් දේශපාලන සංස්කෘතියක් ආරම්භ කරන්න පුළුවන්.

ඒ වගේම දුෂ්කර අවස්ථාවේ අපේ කඳවුර අතහැර පළා නොගොස් ජනතාව වෙනුවෙන්, නායකත්වය රැක ගැනීම වෙනුවෙන් පෙනී සිටි පිරිසටත් ඔබේ මනාප ලබා දෙන්න. ලෝකයේ නව දේශපාලන හඳුනන, අධිරාජ්‍යවාදී බූවල්ලා සමග හැප්පෙන්න පුළුවන් අනුප පස්කුවල් වගේ දැක්මක් තියෙන නායකයෝ පාර්ලිමේන්තුවට එවන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස