එජාප ආණ්ඩුව දෙමළ ජනතාව රැවටුවා! දකුණේ ජනතාවගේ වෛරයට පාත්‍ර වුණා! – ජනපති යාපනේ දී කියයි….

August 31, 2019 at 9:33 am | by emanisa.lk

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් තමාගේ ස්ථාවරයේ කිසිදු වෙනසක් ඇති නොවන බවත්, එය අහෝසි කළයුතු බව අදත් නොබියව ප්‍රකාශ කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

වසර හතර හමාරක් තිස්සේ එය අහෝසි නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ ආණ්ඩුව මිස තමා නොවන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ යාපනයේදී ඊයේ (30) පැවති උත්සවයක් අමතමිනි.

එක්සත් ජාතික පක්ෂය උතුරේ දෙමළ ජනතාව රැවටූ බවත් රට බෙදීමට යන්නේ යැයි කියා දකුණේ ජනතාවගේ වෛරයට පාත්‍ර වූ බවත් සඳහන් කළ ජනාධිපතිවරයා තමා එම පාප කර්මයට දායක නොවූ බව ද පවසයි.

19 වැනි සංශෝධනය හරහා තිබූ තත්වය තවදුරටත් අවුල් වූ බවත්, එම සංශෝධනය හරහා ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කතානායකවරයා අතර බලය බෙදීයාම නිසි සියල්ල විකෘති වී ඇති බවත් ජනාධිපතිවරයා පවසයි.

ඒ නිසා සියලු මතභේද ඉවත ලා රටට ගැලපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කිරීමට කටයුතු කළයුතු බවත් ඒ සඳහා ජනාධිපතිවරයා ලෙස තමා ඕනෑම සහායක් ලබාදීමට සූදානම් බවත් ඔහු පවසයි. ඉදිරි ආණ්ඩුවට පාලන කටයුතු කරගෙන යාමට එම සංශෝධනය වර්තමාන ආණ්ඩුව යටතේම කළ හැකි නම් යහපත් බව ද හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස