මුස්ලිම් විවාහ නීතිය කාන්තාවන් අසරණ කරනවා! පිරිමි වෙනුවෙන් පක්ෂග්‍රාහීව කටයුතු කරනවා! – තවත් මුස්ලිම් කතක් මාධ්‍ය හමුවේ කියයි.. (video)

July 17, 2019 at 3:02 pm | by emanisa.lk

මුස්ලිම් විවාහ නීති ක්‍රියාත්මක කරන කාති අධිකරණ මුස්ලිම් කාන්තාවන්ට බරපතළ අසාධාරණ සිදුකරන බවට තවත් කාන්තාවක් අද(16) මාධ්‍ය හමුවක් පවත්වමින් චෝදනා කළාය.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි නෝනා නජීමා නමැති ඇයගේ චෝදනාව වූයේ දික්කසාද ක්‍රියාවලියේදී කාති අධිකරණ පිරිමි පාර්ශ්වයට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවය.

තමාට මෙම උසාවියෙන් අසාධාරණයක් වී ඇති බවත්, ආබාධිත දරුවෙක් සිටින තමාට මසකට රුපියල් 7500 ක් ගෙවන ලෙස නියම කරත් ගෙවන්නේ රුපියල් 5000ක් බව ද මෙම කාන්තාව පවසා සිටියාය.

තමා හඬා වැටුණ විට තමාට බැණ වැදුන බව පැවසු ඇය, තමා විවාහ වන්නේ මුස්ලිම් නීතිය යටතේ වන බවත් පසුව කාති උසාවියකට යන බවත්, සාධාරණයක් නොවන්නේ නම් මෙවැනි උසාවියක් අවශ්‍ය වන්නේ මන්දැයි ප්‍රශ්න කර සිටියාය.

මුස්ලිම් පිරිමි හතරක් නොව ඕන තරම් ගෑණු ලබා ගන්නා බවත්, කාති උසාවියෙන් සෑම මොහොතකම සාධාරණය ඉටු වන්නේ පිරිමින්ට පමණක් බවත් චෝදනා කළ ඇය ජයමිතුල් උලමා සංවිධානයට පවා මේ දුක ගැන කියා සිටිය ද සහනයක් නොලැබුණු බව හෙළි කළාය.

මෙම මුස්ලිම් නීතිය යටතේ මුස්ලිම් කාන්තාවන්ට සාධාරණයක් කළ නොහැකි නම් රටේ සාමාන්‍ය නීතිය අනුව හෝ තමන්ට සාධාරණයක් කළ යුුතු බව සඳහන් කළාය.

මෙවන් පසුබිමක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කෙරෙහි මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ අවධානය දැන් යොමු වී තිබේ.

විවාහ වීමේ වයස අවුරුදු 18 දක්වා ගෙන ඒමත් විවාහයේ දී සැමියා හා බිරිඳ යන දෙදෙනාම අත්සන් තැබිය යුතු බවට ද එකඟතාවකට පැමිණ ඇතැයි එස්.එම්. මරික්කාර් පසුගිය දා පැවසීය. කෙසේ වුවද ඇමති අබ්දුල් හලීම් පැවසුවේ මුස්ලිම් විවාහ නීතියේ යෝජිත වෙනස්කම් පිළිබඳ මුස්ලිම් ආගමික නායකයන් අතර පැහැදීමක් නොමැති බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස