කාන්තාවට අසාධාරණයක් වුණා නම් නැවත අභියාචනය කරන්න පුළුවන්! ඒකට මුළු කාති උසාවියටම බැණලා වැඩක් නෑ! – මුජිබර් රහුමාන්

July 14, 2019 at 7:23 pm | by emanisa.lk

ඌව පරණගම මුස්ලිම් කාන්තාවට එම ප්‍රදේශයේ කාති උසාවියෙන් අසාධාරණයක් වී ඇත්නම් ඇයට එම නඩුව නැවත ඇසීම සඳහා අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බවත් එම තීන්දුව පදනම් කරගෙන සමස්ත කාති උසාවි ක්‍රමයට බැණ වැදීම පලක් නොමැති බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

රටේ පවතින රෝම ලන්දේසී නීතිය තුළ ද පහළ උසාවියක් ලබා දෙන තීන්දුවක් පිළිබඳ සෑහීමකට පත් නොවන්නේ නම් ඉහළ උසාවියක් සඳහා අභියාචනා කළ හැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා කාති උසාවියේ ද ඒ සඳහා අවස්ථාව ඇතැයි ප්‍රකාශ කළේය.

කෙසේ වුවද වැලිමඩ කාන්තාව ප්‍රකාශ කළේ කාති උසාවිය පිරිමින්ට පක්ෂපාතී ලෙස ක්‍රියාත්මක වන නිසා මුස්ලිම් කාන්තාවන් පාරක් පාරක් ගානේ අසරණ වී ඇති බවත් තමා යා යුතු සියලුම තැන්වලට ගිය ද සාධාරණයක් ඉටු නොවූ බවය. මෙය ෂාරියා නීතිය දැයි ඇය ප්‍රශ්න කළාය.

ඇගේ පියා සඳහන් කළේ හන්දියක් හන්දියක් ගාණේ පැටව් 10-12 වදන බැල්ලියන් ගාණට කාති උසාවිය මගින් මුස්ලිම් කාන්තාවන් පත්කර ඇති බවය.

සමාජ ක්‍රියාකාරිනියක් වන ශ්‍රීන් අබ්දුල් සරූර් පවසන්නේ මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්නේ නම් අධි වරප්‍රසාදිත මුස්ලිම් පිරිමියා අහෝසි වන බවය.

මුස්ලිම් විවාහ නීතිය අනුව මුස්ලිම් පිරිමියාට අසීමිත බලයක් ලැබී ඇති බවත් දරුවන් විවාහ කර දීමේ අයිතිය මෙන්ම විවාහ හතරක් කර ගැනීමේ අයිතිය ද ඔවුන්ට හිමි බව ඇය පෙන්වා දෙයි.

මුස්ලිම් නීතිය අනුව විවාහය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවන නිසා විවාහ හතරක් නොව ඕනෑම ප්‍රමාණයක් කරගත හැකි බවත් එම නීති හදන්නේ ද ක්‍රියාත්මක කරන්නේ ද පිරිමි පමණක් බවත් පෙන්වා දෙන අබ්දුල් සරූර් එය වෙනස් විය යුතු බව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස