කාරක සභාවයි පොලිසියයි කියන ලොන්ඩරි දෙක රිෂාඩ්ගේ කුණු හේදුවා! දැන් රිෂාඩ් අලුතින් ඇමති ෂූට් මහනවා! – ගම්මන්පිල

July 4, 2019 at 8:03 am | by emanisa.lk

අපේ බය නැති කිරීමට සිටින හමුදාපතිවරයාත් රිෂාඩ් බදියුදීන්ට බයේ බොරු සාක්ෂි ලබා දෙන්නේ නම් සාමාන්‍ය පොලිස් නිලධාරීන් පිළිිබඳ කවර කතා දැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල විමසයි.

2015 ජනවාරි 15 දින සිට 2018 දෙසැම්බර් 31 දින දක්වා කාලය තුල රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂණ් සභාව ඉදිරියේ කරුණු දැක්වීමෙන් අනතුරුව ඔහු (03) මාධ්‍ය වෙත මෙසේ අදහස් දැක්වීය.

රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අයට මන්නාරමේ අක්කර 3000 කට අධික දේපලක් තිබෙන බවට වන සාක්ෂි මා ළඟ තිබෙන බවට ආණ්ඩුවේ දූෂණ සොයන කොමිසමට තොරතුරු ආරංචි වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අද දින මට කොමිසම ඉදිරියේ පෙනී සිටින්න යැයි දැනුම් දීමක් කළා. රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අය 2011 ඔක්තෝම්බර් මාසයේ සිට 2014 ජූලි මාසය කියන තෙ වසරකටත් අඩු කාලයක් තුලදී මන්නාරමේ අක්කර 3000 කට අධික ප්‍රමාණයක් ඔප්පු හැට අටක් හරහා ලබාගෙන තියෙනවා. ඔප්පුවල වටිනාකමට අනුව නම් මිලියන දෙසිය හතළිහක් ඒ සඳහා වියදම් කර තිබෙනවා.

අප මෙහිදී පෙන්වා දුන්නා මේ ඔප්පුවල නම් සඳහන් පුද්ගලයන් රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ නෑදෑයන් වන්නේ කොහොමද කියන එක. එමෙන්ම සමාගම් දෙකක් විසින් ද මෙහි දී පළ අත්පත්කරගෙන තිබුණා. රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාගේ පවුලේ අයට ඒ සමාගම් අයිති වන්නේ කොහොමද, ඒ සමාගම්වල කොටස් හිමියන් විදිහට ඉන්නේ කොහොමද කියන සියලුම විස්තර අද දින මේ දූෂණ විමර්ශන කොමිසම වෙත අප ලබා දුන්නා.

මේ තොරතුරු මට ලැබුණේ මන්නාරමි ජනතාවගෙන්. නමුත් මන්නාරමි ජනතාව තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ඇති වී තිබෙන ගැටළුත් සිය අනන්‍යතාව හෙළි කිරීමට අකමැති නිසා, ඔවුන් මා හරහා මේ තොරතුරු දූෂණ විමර්ශන කොමිසම වෙත භාරදීමට කටයුතු කර තියෙනවා.

අපට ආරංචිය රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිතුමා යළිත් ඇමතිතුමා වෙන්න අලුතෙන් සූට් මහනවා කියලා. එක් කුණු ලොන්ඩරියක් වෙච්ච තේරීම් කාරක සභාවත් අනිත් කුණු ලොන්ඩරිය වෙච්ච පොලිසිය හරහාත් අවශ්‍ය ප්‍රමාණයට කුණු හෝදගෙන කියලා තමයි එතුමන්ලා හිතාගෙන ඉන්නේ. නමුත් මේ චෝදනා විමර්ශනය කරලා අවසන් වෙන්නට කලින් රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා නැවත අමාත්‍යවරයෙක් වුණොත් එය ඍජුවම විමර්ශනවලට බාධාවක් බව අපට පැහැදිලියි.

අපේ බය නැති කරන්නට ඉන්න රටේ යුද හමුදාපතිතුමා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිතුමාට බය වෙලා තියෙන බවයි පෙනෙන්නේ. තේරීම් කාරක සභාව ඉදිරියට ගිහිල්ලා, ඊට කලින් තමන්ට බලපෑම් කළා යැයි කියපු රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා බලපෑම් කළේ නැහැ නමක් ගැන ඇහුවා විතරයි කියලා එතුමා කියන්නේ ඒකයි. රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයාට රටේ හමුදාපතිවරයාත් මෙතරම් බය නම් අහිංසක පොලිස් නිලධාරීන් ගැන කවර කතාද? ඒ නිසා මේ පරීක්ෂණ ස්වාධීනව අපක්ෂපාතීව සිදුවීම සඳහා රිෂාඩ් බදියුඩීන් මන්ත්‍රිවරයා ඇතුළු ඔහුගේ පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් අමාත්‍ය ධුර භාර නොගත යුතුයි කියන මතයෙයි අප සිටින්නේ.

මේ බිය ඉතාම සාධාරණයි. ඊයේ දින අප දැක්කා පුවතක් අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් සිංහල කෙනෙකු කසාද බැඳලා එම විවාහ කරගත් පුද්ගලයා ඉස්ලාම් ආගමට එක්කර ගැනීමට මෙම කාන්තාව අසමත් වූවාය කියලා එම කාන්තාවට පහර දීලා. ඒ විතරක් නොවෙයි ඇඳුම් ඉරා දාලා, පාර දිගේ ඇදගෙන ගිහින් තියෙනවා පොලිසිය බලා සිටියදී. මිනිසුන් සිය ගණනක් මෙම කාරණයට සම්බන්ධ වී තියෙනවා. මේක සිදුවුණේ බණ්ඩාරගම අටලුගමයි. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ මුස්ලිම් කාන්තාවක් හා විවාහ වෙන්න සිංහල කෙනෙකුට බැරි නම් කාන්තන්කුඩි ප්‍රදේශයේ තත්ත්වය කෙසේ ද කියලා අපට හිතාගන්න පුළුවන්.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහවන වගන්තියෙ ඕනෑම පුද්ගලයෙකුට කැමති ආගමක් ඇදහීමට හා කැමති ආගමක් වැළඳගැනීමට නිදහස ලබා දී තිබෙනවා. එම නිදහස මෙලෙස බරපතළ විදියට උල්ලංඝණය වෙනවා නම් එය බරපතළ ප්‍රශ්නයක්. ඒ ආගමත් ප්‍රශ්නයක්. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන ආකාරයේ ආගම් මෙරට පවතින්නට බැහැ. එක් එක් ආගම්වලට අනුව රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්නට අපට බැහැ. රටේ ව්‍යවස්ථාව අනුව ඒ ආගම් හැඩගස්වා ගැනීමයි සිදුකළ යුත්තේ. එවැනි විශ්වාසයන් තිබෙන පිරිස් කොපමණක් මේ රටේ ඉන්නවද කියා අප දන්නෙ නැහැ. කුමන ආගමක් ඇදහුවත් රටේ මූලික නීතිය ද එම පිරිස් ගරු කළ යුතුයි.

මේ නිසා තමයි වහාබ් අන්තවාදයට එරෙහිව මෙරට ජනතාව පෙළ ගැස්සවීමේ අවශ්‍යතාවක් තිබෙන්නේ. ඉතින් අපට දැන් ලැබෙන තොරතුරු අනුව නම් වහාබ් අන්තවාදීන්ගේ වැඩිම පීඩනයකට ලක්ව තිබේන්නේ මුස්ලිම් ජනතාව. විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාවන්. ඒ නිසා වහාබ් අන්තවාදයට එරෙහිව අප සිදුකරගෙන යන ජනතා ව්‍යාපාරයට අපත් සමග එකතු වෙන්න කියලා මේ වහාබ් අන්තවාදයෙන් පීඩාවට පත්ව සිටින මුස්ලිම් ජනතාවට අප විශේෂ ආයාචනාවක් කරනවා.

අරවින්ද අතුකෝරල

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස