ඇමති සජිත් පුරවිද්‍යාවට මුදල් නොදෙයි! පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය නවතී! මධ්‍යම සංස්කෘතිය් මුදල් දේශපාලන ව්‍යාපෘතියකට!

October 16, 2019 at 1:46 pm | by emanisa.lk

මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන ආදායමෙන් 25%ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු බවට පැවති කොන්දේසිය වත්මන් සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාසගේ නියමයෙන් අත්හිටුවා ඇති නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 1.2කට ආසන්න මුදලක් අහිමි වී තිබේ.

ගවේෂණ කටයුතු සහ පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය ආදිය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව වෙන් කෙරෙන මුදල ප්‍රමාණවත් නැති බැවින් මධ්‍යම සංස්කෘතික අරමුදලට ලැබෙන ආදායමින් සියයට 25ක් ඔවුන්ට ලබාදීමේ කොන්දේසියක් පනවා තිබිණි.

වර්තමාන ඇමතිවරයා යටතේ එම මුදල නොලැබෙන නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටියි. පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය කිරීමද ඇන හිට තිබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල යන ආයතන දෙකම පාලනය වන්නේ සංස්කෘතික අමාත්‍යාංශය යටතේය.

එහෙත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ මුදල් අමත්‍ය සජිත් ප්‍රේමදාසගේ දේශපාලන ව්‍යාපෘතියක් වූ සසුනට අරුණ ව්‍යාපෘතිය සඳහා යොදවන බවයි.

මේ වන විට රට පුරා පුරාවිද්‍යා ස්ථාන විශේෂයෙන් උතුරු නැඟෙනහිර පුරාවිද්‍යා ස්ථාන විශාල ප්‍රමාණයක් අන්තවාදීන්ට විවිධ උපක්‍රම යොදමින් ආක්‍රමණය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ එම ස්ථාන සංරක්ෂණය සහ ගවේෂණය සඳහා මුදල් නොමැතිකම නිසාත් එම ස්ථාන ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිය වගකීම ඉටු නොකරන නිසාත් බව බොහෝ පාර්ශව පෙන්වා දෙති.

මේ අතර දෙමළ දේශපාලන පක්ෂ ගෝඨාභය රාජපක්ෂට සහ සජිත් ප්‍රේමදාසට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති යෝජනා මාලාවේ එක් යෝජනාවක් වන්නේ උතුරු නැඟෙනහිර පුරාවිද්‍යා භූමි වහාම දෙමළ ජනතාව සඳහා නිදහස් කිරීමය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස