උතුරු නැඟෙනහිර වෙහෙර විහාර ආරක්ෂා නොකරන්න පුරාවිද්‍යාව අගමැතිට ලිඛිතව පොරොන්දු වෙයි!

July 5, 2019 at 8:35 am | by emanisa.lk

උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති වෙහෙර විහාරස්ථාන සඳහා කිසිදු සැලකිල්ලක් නොදක්වන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලිඛිතව පොරොන්දු වී තිබෙන බව හෙළ ජන බලය සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ නුවන් බැල්ලන්තුඩාව සඳහන් කළේය.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ වස් ආරාධනා පිංකම නොකරන ලෙසට පොලිසිය මගින් බලපෑම් එල්ල කිරීම පිළිබඳව අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් බැල්ලන්තුඩාව මහතා මෙම අදහස් පළකළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ ද පැවසීය.

කොළඹ ඉඳලා රටේ එ්කීයභාවය ගැන බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතුබවට කෑගසන කිසිදු පුද්ගලයෙක් නයාරු විහාරස්ථනය පිළිබඳව පැත්තවත් හැරිලා බලලා නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය බුද්ධ ශාසනය කියන කාරණයට සංඝරත්නය /බෞද්ධ වෙහෙර විහාර /වත් පිලිවෙත් සියල්ල අයිතියි. වස් ආරාධනාව කියන්නේ බෞද්ධ සම්ප්‍රදායේ වැදගත් අංගයක්. ඒ සම්ප්‍රධායන් වගේම බෞද්ධ උරුමයන්ට හානිවන ලෙසට නීති පනවන්න සීමා පනවන්න පොලිසියට බැහැ.

මාධ්‍ය මගින් වාර්තා වනවා මුලතිව් පොලිස් අධිකාරීවරයා මේ වස් පිංකම් මාලාව කරන්න දෙන්නෙ නැහැ කියලා. ඔහු කියා තිබෙනවා එහෙම උනොත් මහාධිකරණයේ තීන්දුව දරුණු වෙයි කියලා. අධිකරණයේ තීන්දුව ගැන අනාවැකි කියන්න උන්නැහෙට තියෙන බලය මොකක්ද? ඒවාගේම ඔහු මේ සිද්ධිය වාර්තා කරල තියෙන මාධ්‍යවේදියාට උසාවි ගෙනියනව කියල තර්ජනය කරල තියෙනවා.

උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය රකින්න බුද්ධ ශාසන අමාතයාංශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොලිසිය කටයුතු කරන්නේ නැත්නම් අපි ඒ වෙනුවෙන් සිංහල බෞද්ධයන් පෙලගස්වන බව සදහන් කළේය.

එමෙන්ම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදියු යුතු බවට ලියවී තිබුණ පමණට බෞද්ධ උරුමය රැකෙන්නේ නැහැ. ඒ සඳහා මහ පොළවේ අපේ උරුමට ආරක්ෂා කරගත යුතුයි.

බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වියයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය අද නිහඬයි. පුරාවිද්‍යා කොමසාරිස්තුමා උතුරු නැගෙනහිර පුරාවිද්‍යා නඩුවක් සඳහා උසාවිට ඉදිරිපත් කරන්න වෙලා තියෙන්නෙ මරන්න ගෙනියන හරකෙක් වගේ.

අපි ජනාධිපතිතුමාට කියනවා මේ එතුමාගේ අවසාන කාලය යන තැනකට වැඩක් කරගන්න හරි මෙම ගැටලුවට මැදිහත් වෙලා අපේ උරුමය රැකගන්න ඉදිරිපත් වෙන්න කියල. ඒ වගේම විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයටත් කියනවා හැංගිහොරා ගේම් ගහන්නේ නැතිව මේ අපේ උරුමය රැකගැනීමට වැඩපිළිවෙළක් ප්‍රකාශ කරන ලෙසට යනුවෙන්ද බැල්ලන්තුඩාව තවදුරටත් අදහස් දක්වන ලදී

මෙම මාධ්‍ය හමුවේ දී නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරධිපති කොළඹ සද්ධර්මකිත්ති හිමි, ගුරුකන්ද රජමහා විහාරයේ දායක සභාවේ ලේකම් බන්දුල ලියනගේ, නීතීඥ රෝහණ තල්පාවිල, හෙළ ජන බලය සංවිධානයේ මධ්‍යමණ්ඩල සභික මතුගම සෙනෙවිරුවන් යන මහත්වරු අදහස් දැක්වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස