ඇමති සජිත් මුහුදු මහ විහාරය ළඟට ඇවිත් හැරිලා යනවා! මොවුන් අනාගතයේ රටේ උරුමය රකීද කියන සැකය අපට තියෙනවා! – උඩමලත්තේ රතනප්‍රිය හිමි

September 3, 2019 at 5:23 pm | by emanisa.lk

මුහුදු මහා විහාරයට මීටර් 100ක් නුදුරින් පිහිටි බෝධිරාජාරාම විහාරස්ථානයට පැමිණි නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමති සජිත් ප්‍රේමදාස මේ දිනවල ගැටලුව රැසකට මුහුණ පා සිටින මුහුදුමහා විහාරය මගහැර යන්නේ ඇයි දැයි මුහුදු මහා විහාරාධිකාරී පූජ්‍ය උඩමලත්තේ රතනප්‍රිය හිමි ප්‍රශ්න කරයි.

ඊයේ (02) රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය උඩමලත්තේ රතනප්‍රිය හිමි මෙසේ ද පැවසීය.

“මුහුදු මහා විහාරය පුරාවිද්‍ය සාක්ෂි සමග අක්කර 72 ක් 1951-01-26 දින සෙනරත් පරණවිතාන මහතා විසින් පුරාවිද්‍යා භූමියක් බවට ගැසට් කර තිබෙනවා. පසුව 1965-05-28 දින අක්කර 30 ක් මුහුදු මහා විහාරයට වෙන් කරනවා. පසුව කලින් කලට විහාරයට අයත් බිම් කොටස් මුස්ලිම් ජනතාව විසින් අල්ලා ගෙන තියෙනවා. දැන් ඉතිරිවෙලා තියෙන්නේ අක්කර 08-10 ත් අතර ප්‍රමාණයක් පමණයි.

මේ වෙන කොට තවත් බිම් කොටස් හිටපු ප්‍රාදේශීය ලේකම්ගේ අනුදැනුමින් අල්ලා ගනිමින් යනවා. බලධාරීන්ට දැනුවත් කළත් මෙතෙක් පියවරක් අරගෙන නෑ.

මේ දිනවල කතාබහට ලක්වෙන විහාරය අසල වැලි කඳු කපලා ඒ වැලි ගොඩ ගහලා තියෙන්නේ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ ගෙදර. මේවා ගැන බලධාරීන් බලන්නේ නැත්තේ ඇයි?

මුහුදු මහ විහාරය මුහුණ දී ඇති ගැටලු හමුවී වර්තමාන ආණ්ඩුවේ නායකයන් වගේම අනාගතයේ පත්වෙන්න බලා සිටින මේ නායකන් කටයුතු කරන ආකාරයෙන් අනාගතයේ ඔවුන් රටේ ජාතික උරුමය රැක ගනීද යන සැකය අප තුළ මතුවෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස