අසාද් සාලි තර්ජනය කර පැය කිහිපයයි! කුරුණෑගල පොලිස් ප්‍රධානීන් මාරු කරයි!

August 8, 2019 at 9:51 pm | by emanisa.lk

කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට දී තිබූ ස්ථාන මාරුව තාවකාලිකව අත්හිටුවීමේ තීරණය ඉවත් කර ඔවුන්ට ස්ථාන මාරු ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) තීරණය කළේය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පොලිස් අධිකාරීවරයා කුරුණෑගල දිසාවේ සිටියහොත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි සම්බන්ධ විමර්ශනයට බාධා ඇතිවන බැවින් ඔවුන් ස්ථාන මාරු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබිණි.

ඒ අනුව එම නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබා දෙන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා පසුගිය මස 27 වැනි දා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය බ්‍රහස්පතින්දා (01) ඔවුන් දෙදෙනාට ස්ථාන මාරුවීම් ලබාදීමට තීරණය කළ අතර සිකුරාදා (2) එම ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබිණි.

ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) යළිත් රැස්වූ අවස්ථාවේ දී එම ස්ථාන මාරු වෙනස්කමකට භාජනය කර යළි ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව පොලිස් ආරංචි මාර්ග කියයි.

ඒ අනුව කුරුණෑගල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතා පුත්තලම දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, කුරුණෑගල කොට්ඨාස භාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක මහතා කන්තලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අද (08) අනුමැතිය ලබා දී තිබේ.

අදාළ පොලිස් නිලධාරීන් වහාම මාරු කළ යුතු බවත් පොලිස් කොමිසමේ සියලු දෙනා ඉවත් කළ යුතු බවත් අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි තර්ජනය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස