වෛද්‍ය ෂාෆි බලහතකාරයෙන් වඳ සැත්කම් කළා! මව්වරු හයක් වෛද්‍ය සභාවට පැමිණිලි කරති!

July 11, 2019 at 7:39 am | by emanisa.lk

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ෂාෆි සහාබ්දීන් වෛද්‍යවරයා කිසිදු අනුමැතියකින් තොරව එල්ආර්ටී සැත්කම් සිදු කළ බවට මවුවරුන් හය දෙනකුගේ දිවුරුම් ප‍්‍රකාශ සහිත පැමිණිල්ලක් සිවිල් ජාතික සංවිධාන කිහිපයක් විසින් ඊයේ (10 වැනිදා) වෛද්‍ය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. වෛද්‍යවරයා විසින් කිසිදු අවසරයකින් තොරව එල්ආර්ටී සැත්කම් කළ බවට මවුවරුන් 11 දෙනකු පැමිණිලි කර තිබෙන අතර, ඉන් හය දෙනකුගේ දිවුරුම් ප‍්‍රකාශ සහිත පැමිණිල්ලක් මෙසේ වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබේ.

සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානය, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, නීතිඥ ජාතික සංවිධාන එකමුතුව සහ වෘත්තීයවේදීන් පිරිසක් විසින් අදාළ පැමිණිල්ල වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සුරකිමු ශ‍්‍රී ලංකා සංවිධානයේ කැඳවුම්කරු – පාහියංගල ආනන්ද සාගර හිමි,

ෂාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් රටේ විවිධ මත පළවෙමින් තිබෙනවා. ඔහු විසින් සිදුකළ සැකසහිත සිසේරියන් සැත්කම් පිළිබඳවයි වෛද්‍ය සභාවට මේ ආකාරයෙන් පැමිණිලි කළේ. මවුවරුන් 11 දෙනෙක් ලිඛිතව අපට පැමිණිලි කළා වෛද්‍යවරයා කිසිදු අනුමැතියකින් තොරව එල්ආර්ටී සැත්කම් සිදුකළ බවට. අද මවුවරුන් හය දෙනකුගේ ලිඛිත සාක්‍ෂි වෛද්‍ය සභාවට ඉදිරිපත් කළා. මවුවරුන්ගේ හෝ පියවරුන්ගේ අනුමැතියකින් තොරවයි ෂාෆි වෛද්‍යවරයා හිතුමතේ එල්ආර්ටී සැත්කම් සිදුකර තිබෙන්නේ. මේ ගැන වහාම විධිමත් පරීක්‍ෂණයක් කරන ලෙසට වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කළා. ඔහුගේ වෘත්තීයභාවය ගැන අපි අභියෝගයට ලක් කරනවා.

විශේෂයෙන්ම යම් විදිහකින් වෛද්‍යවරයා උසාවියෙන් ඇප ලබාගෙන යළිත් වෘත්තියේ යෙදෙන්නේ නම් මේ තත්ත්වය භයානක වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ සැම දෙනාට සාධාරණයක් ඉටුවන පරීක්‍ෂණයක් සිදුවෙයි කියලා. සාධාරණ පරීක්‍ෂණයක් වුවහොත් පමණයි වරදකරුවන්ට දඬුවම් ලබාදෙන්න පුළුවන්. එසේ නොවුවහොත් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වයන් භයානකයි. මේවා ගැන සොයා බැලීම රජයේ වගකීමක්. සිවිල් සංවිධාන වශයෙන් අපට කළ හැකි උපරිම දේ අපි කරනවා. රජය මීට වඩා වගකීමකින් කටයුතු කළ යුතුයි. මේ කාර්යය අපි කරන්නේ දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් නොව ජාතික ප‍්‍රශ්නයක් ගැන හිතලයි. ඉදිරි ජනාධිපතිවරණයෙන් පසුවත් අපගේ මේ ක‍්‍රියාදාමය නතර කරන්නේ නැහැ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ජගත් සුමතිපාල මහතා –

වෛද්‍යවරයා සම්බන්ධයෙන් මතුවෙලා තිබෙන අර්බුදය ගැන මවුවරුන් සමග සාකච්ඡුා කළා. සැකසහිතව සිදුකළ සැත්කම් පිළිබඳව මවුවරුන් 11 දෙනෙක් අපට පැමිණිලි කළා. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. ඔවුන්ගේ අවසරයකින් තොරව සැත්කම් කළ බවට ලිඛිතව සාක්‍ෂි ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ තුසිතා නාමලී සිල්වා මහත්මිය –

අධිකරණයට වාර්තා වන ආකාරයට මවුවරුන් 11 දෙනකුට නීතිවිරෝධීව එල්ආර්ටී සැත්කම් කළා කියලා වෛද්‍යවරයාට චෝදනා එල්ල වෙලා. නඩු වාර්තාවලින් පවා ඒ බව සනාථ වෙලා තිබෙනවා. වෛද්‍ය සභාවට මේ ගැන දිවුරුම් ප‍්‍රකාශ මගින් පැමිණිලි කළා. ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්නටත්, වෛද්‍යවරයාගේ අක‍්‍රමිකතාව ගැන සොයා බලන්නටත් තමයි අපි අද වෛද්‍ය සභාවට පැමිණිලි කළේ.

ඒ වගේම ඔහුට වෘත්තීය සුදුසුකම් තිබෙනවා ද කියාත් සොයා බැලිය යුතුයි. වෛද්‍යවරයාගේ ජනවර්ගය පමණක් ඉලක්ක කරගෙන කළ පැමිණිල්ලක් නෙමෙයි අපි කළේ. ඇත්ත වශයෙන්ම මවුවරුන්ට සිදුවෙලා තිබෙන අසාධාරණයට එරෙහිව සාධාරණයක් ඉටු කිරීමටයි අපේ බලාපොරොත්තුව. වෛද්‍යවරයා කිසිදු වැරැුද්දක් නොකළේ නම්, නීතියෙන් සහනයක් බලාපොරොත්තු වන්නේ නම් ඒ ගැන අපගේ විරෝධයක් නැහැ. වෛද්‍යවරයා ශල්‍යාගාරය තුළ යම්කිසි අක‍්‍රමිකතාවක් සිදුකර ඇත්නම් ඔහුට එරෙහිව දඬුවම් කළ හැක්කේ වෛද්‍ය සභාවට පමණයි. වෛද්‍ය සභාව සාමාන්‍ය ක‍්‍රමවේදයෙන් බැහැරව කඩිනම් ක‍්‍රියාමාර්ගයක් තුළින් මවුවරුන්ට සාධාරණයක් ඉටු කරයි කියා විශ්වාස කරනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස