අන්තවාදය උඩගෙඩි දුන් දේශපාලකයන්ට ඇමතිකම් ලබා දුන් ආණ්ඩුවට ජනතාව මැතිවරණයේදී පිළිතුරු දිය යුතුයි! – මුසාම්මිල්

August 2, 2019 at 2:04 pm | by emanisa.lk

වහාබ්වාදය නමැති දෘෂ්ටිමය ත‍්‍රස්තවාදය මැඬලීමට කිසිදු පියවරක් නොගත් ආණ්ඩුව අන්තවාදයට අනුබල දුන් බවට ඉතා බරපතළ චෝදනා එල්ල වූ මුස්ලිම් දේශපාලනඥයන්ට යළිත් ඇමැති ධුර ලබා දීමට කටයුතු කර ඇති බවත්, ඉදිරි මැතිවරණයකදී රටේ සමස්ත ජනතාව මේවාට එරෙහිව නිසි පිළිතුරු ලබාදිය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් පැවසීය.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා එම පක්‍ෂ මූලස්ථානයේ (30) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එසේ කී මොහොමඞ් මුසම්මිල් වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

“වහාබ්වාදය නමැති දෘෂ්ටිමය ත‍්‍රස්තවාදයට මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් බිහි කිරීමට විශාල හැකියාවක් තිබෙනවා. එය ශ‍්‍රී ලංකාව තුළ බරපතළ ලෙස ව්‍යාප්ත වන විධික‍්‍රම රැසක් ඇති බවට පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමග රට හමුවේ අනාවරණය වුණා. වහාබ්වාදී ත‍්‍රස්තවාදය ව්‍යාප්ත වන කරුණු ඇතුළත් මුස්ලිම් පාසල්වල විෂය නිර්දේශයන් ඉවත් කිරීම, මද්‍රසා පාසල් හා ඒවායේ විෂය නිර්දේශයන් නියාමනය කිරීම, ශ‍්‍රී ලංකාවට හොර රහසේ පැමිණ මද්‍රසා පාසල්වල උගන්වන විදේශීය පූජකයන් පිටුවහල් කිරීම ආදී කිසිදු පියවරක් මේ ආණ්ඩුව ගෙවී ගිය මාස තුන තුළ ක‍්‍රියාත්මක කළේ නැහැ.

මුස්ලිම් විවාහ නීතිය හා කාති උසාවිවල නඩු තීන්දු සම්බන්ධයෙන් වන ගැටලූකාරී තත්ත්වයන් ද විමසා බලා නිසි පියවර ගැනීමට වත්මන් පාලකයන්ට කිසිදු වුවමනාවක් නැහැ. ඉහත නීතිමය වාතාවරණය සහ වහාබ්වාදයෙහි මූලධර්මවලට ආණ්ඩුව රැකවරණය ලබා දෙනවා. මුස්ලිම් ජන සමාජය තුළ ඔඩුදුවා ඇති මේ දෘෂ්ටිවාදය ත‍්‍රස්තවාදය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත් මේ ආණ්ඩුව චෝදනාවන්ට ලක්වූවන්ට යළි ඇමැති ධුර ලබාදීම නම් නිසි කලට සිදු කළා. මෙය අගමැති රනිල් හා චෝදනාවන්ට ලක්වූ ඇමැතිවරුන් එක්ව රඟ දැක්වූ නාටකයක්.

මේ වන විට ගර්භාෂ සංහාරයක නිරත වූ වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට ඇප ලැබී තිබෙනවා. දැන් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා ඇතුළු කාර්ය මණ්ඩලයට චෝදනා එල්ල වෙමින් තිබෙනවා. ඒ වගේම කටුවාපිටිය, කොච්චිකඬේ, මඩකලපුව දේවස්ථානවල සහ තරු හෝටල්වල මියගිය පිරිස් චූදිතයන් වී තිබෙනවා. චෝදනා එල්ල වූ ඇමැතිවරුන්ට යළි ඇමැතිකම් ලබාදුන් ආණ්ඩුවට එරෙහිව එළැඹෙන මැතිවරණයේදී ජනතාව නිසි පිළිතුරු ලබාදිය යුතුයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස