ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමේ වැඩ නවතී! ජනපති උපදෙස් නොතකන ඇමතිලා ඩීල් එකකද?

January 27, 2020 at 12:04 pm | by emanisa.lk

නැගෙනහිර ෂරියා විශ්වවිද්‍යාල විද්‍යායතනය ආණ්ඩුවට පවරා ගැනීම ගැන අදාළ අංශ සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දුන් උපදෙස් සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය මෙන්ම උසස් අධ්‍යාපන අමාත්‍යාංශයද දැඩි නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියි.

ඒ සම්බන්ධයෙන් මේ දක්වා එම විද්‍යායතනයේ හිමිකරු වන නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සමග මෙම අමාත්‍යාංශ දෙක කිසිදු සාකච්ඡාවක් හෝ පවත්වා නැතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

උසස් පෙළ විභාගය සමත් වන සියලු සිසුන්ට උසස් අධ්‍යාපන වරම් ලබාදීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට මෙම විද්‍යායතනයද පහසුවෙන්ම යොදාගත හැකිය යන්න වැඩි පිරිසකගේ අදහස වී තිබේ. ඒ සඳහා මෙම විද්‍යායතනය කඩිනමින් ආණ්ඩුවට පවරා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවද ඔවුහු පෙන්වා දෙති.

ජනාධිපතිවරණ සමයේදී මෙම විද්‍යායතනය සම්බන්ධයෙන් බරපතළ සංවාදයක් පැවැති අතර ඇතැම් ස්වාමින් වහන්සේලාද වෛද්‍ය අධ්‍යාපනය සුරකින බව කියන ඇතැම් සංවිධානද විශාල විරෝධයක් ගෙන ගියේ එහි ෂරියා නීතිය ඉගැන්වීමේ කටයුතු සිදුවන බව කියමිනි.

මෙම විද්‍යායතනය ආණ්ඩුවට පවරා ගැනීම සඳහා අදාළ අංශ සමග සාකච්ඡා කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් දුන්නේ මෙම තත්ත්වය මතය. තමන්ට පෞද්ගලික අයිතියක් ඇති මෙම විද්‍යායතනය ආණ්ඩුවට පවරා ගත නොහැකි බව නැගෙනහිර ආණ්ඩුකාරවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස