මඩකලපුවේ ඉදිවන ආසියාවේ විශාලතම ඉස්ලාම් විශ්වවිද්‍යාලය වහාම නවතනු! අන්තර්ජාල පෙත්සක් රජයට භාර දීමට සූදානම්!

April 26, 2019 at 1:41 pm | by admin

ඉස්ලාම් ආගමික මතවාදය ප‍්‍රචලිත කිරීම සඳහා මඩකලපුවේ පුනෙයි ඉදිකෙරෙන ආසියාවේ විශාලතම ඉස්ලාම් විශ්වවද්‍යාලයේ ඉදිකිරීම නතර කරන ලෙස රජයට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් ආරම්භ වී තිබේ.

ඊයේ (25 දා) සවස වන විට මෙම පෙත්සම සඳහා අත්සන් විසි අටදහසක් එකතු වී තිබූ අතර අත්සන් 35,000 ක් සම්පූර්ණ වූ පසු එය රජයට භාරදීමට නියමිතය.

2013 වසරේදී සෞදි අරාබි රජයේ ප‍්‍රධාන ආරක්‍ෂක නිලධාරි ෂේක් යාහන් අබ්දුල් අසීස් අල් රෂීඞ් විසින් විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් රජය සමඟ ගිවිසුමකට අත්සන් තබා ඇති අතර ඒ සඳහා අරමුදල් වශයෙන් රුපියල් මිලියන 15,000 ක් වෙන් කිරීමට සෞදි අරාබියේ හිරා අරමුදල කටයුතු කර තිබේ.

මේ වන විටත් ශ‍්‍රී ලංකා රජයට අයත් ඉඩමක ඉදිකිරීම් කටයුතු ආරම්භ වී ඇති මෙම විශ්වවිද්‍යාලය මගින් වසර දහයක් ඇතුළත ඉස්ලාම් දේවධර්මවාදීන් පහළොස්දහසක් පුහුණු කිරීම, ඉස්ලාම් ෂරියා නීතිය සඳහා ශාස්ත‍්‍රීය උපාධි පිරිනැමීම, ව්‍යාපාර කළමනාකරණය, වෛද්‍ය විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය ආදී විෂයන් සඳහා උපාධි පිරිනැමීමට සූදානම් අතර, ඒ සඳහා සිසුන්ගෙන් කිසිදු මුදලක් අය කරනු නොලැබේ.

මේ වන විටත් මෙම ඉස්ලාම් විශ්වවිද්‍යාලයට සිසුන් බඳවා ගැනීම සඳහා ඉන්දියාව, බංගලාදේශය ඇතුළු රටවල පූර්ව ප‍්‍රචාරක කටයුතු ද ආරම්භ වී තිබේ.

ඉස්ලාම් ෂරියා නීතිය ශ‍්‍රී ලංකාවේ ආගමික නීතියක් බවට පත්ව නොමැති අවස්ථාවක එම නීතිය සඳහා උපාධි පිරිනැමෙන විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු බලයක් නොමැති බව සඳහන් කරන පෙත්සම්කරුවෝ මේ වන විටත් ශ‍්‍රී ලංකාව ඉස්ලාමීය රාජ්‍ය ත‍්‍රස්තවාදීන්ගේ (ISIS) සංක‍්‍රමණික කේන්‍ද්‍රස්ථානයක් බවට ඉන්දීය බුද්ධි අංශ මගින් අනාවරණය කර තිබියදී මෙවැනි විශ්වවිද්‍යාලයකට රාජ්‍ය අනුග‍්‍රහය ලබාදීම රටේ ජාතික ආරක්‍ෂාව බරපතළ අවදානමකට ලක් කිරීමක් බවට කියා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස