මඩකලපුව ෂාරියා විශ්වවිද්‍යාල ගිණුමට හිස්බුල්ලා පවසන ආකාරයේ සෞදි ණයක් බැර වී නෑ! – ලංකා බැංකුව

June 21, 2019 at 8:35 am | by emanisa.lk

මඩකලපුව ෂරියා විශ්ව විද්‍යාලය සතු කොල්ලුපිටිය ශාඛාවේ පවත්වා ගෙන යන ගිණුමට සෞදි අරාබියෙන් කිසිදු ණය මුදලක් බැර වී නැතැයි ලංකා බැංකුවේ ප‍්‍රධාන කාර්යාලයේ ප්‍රේෂණ අංශයේ කළමනාකරු ජනක් ප‍්‍රසංග මහතා ඊයේ (20) රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට ප‍්‍රකාශයක් දෙමින් දැනුම් දී ඇත.

අදාළ විශ්ව විද්‍යාලයට අයත් ගිණුමක් ලංකා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවේ පවත්වා ගෙන ගියද සෞදි අරාබියෙන් ලැබුණ කිසිදු ණය මුදලක් එම ගිණුමට බැර වී නොමැති බවත්, එවැනි මුදල් තැන්පත් කිරීමට මහ බැංකුවේ විශේෂ අවසරයක් ඇතිව සිදු කළ යුතු ක‍්‍රියාවලියක් බවත් ලංකා බැංකු ප‍්‍රධාන කාර්යාලයේ ප්‍රේෂණ අංශයේ කළමනාකරුගේ ප්‍රකාශයේ සඳහන් වෙතැයි දැනගන්නට තිබේ.

රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය මීට පෙර නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලාගෙන් ඉකුත් 14 වැනිදා පැය තුනක කාලයක් ප‍්‍රකාශ සටහන් කර ගත් අතර එහිදී ඔහු පැවසුවේ එම විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු සඳහා සෞදි අරාබියෙන් ණය මුදලක් ලබා ගත් බවත් තම ලංකා බැංකු ගිණුමට අදාළ මුදල ලැබුණු බවත්ය.

මඩකලපුව පූනානිහි පවත්වා ගෙන යන ෂරියා විශ්වවිද්‍යාලයට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස