ශ්‍රීලනිප අප සමග එකතු වීම නිසා අපේ ඡන්ද පදනම 70% දක්වා ඉහළ ගියා! විරුද්ධවාදීන්ගේ ගැටවලට හසුවී අපේ කණ්ඩායම් අතර ගැටුම් හදාගන්න එපා! – ගෝඨා

October 15, 2019 at 7:12 am | by emanisa.lk

රටක ජාතික ආරක්ෂාව නොමැති නම් විදේශ ආයෝජන හෝ සංචාරකයන් නොපැමිණෙන බවත් තම පාලනය තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව ලබා දී සුරක්ෂිත දේශයක් බිහි කරන බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.

අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම පිණිස ඊයේ (14) කුරුණෑගල, ගල්ගමුව සතිපොළ භූමියේ සංවිධානය කර තිබූ රැලියක් අමතමින් හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

“සියලුම දෙනා බලාපොරොත්තු වන සාමකාමී සහ නිහතමානී රටක් හදනවා. විරුද්ධවාදීන්ගේ කුමන්ත‍්‍රණවලට අපි හැසිරිය යුතු නැහැ. එනිසා ජයග‍්‍රහණය ලබන්න නම් සියලුම දෙනාගේ සහාය ලබාගත යුතුයි. කුමන්ත‍්‍රණකාරී බලවේගවලට යටත් නොවී බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. සෑම පක්‍ෂයක්ම අපත් සමඟම එකතු වෙලා තිබෙන්නේ අපේ පැහැදිලි ප‍්‍රතිපත්ති නිසයි. සෑම කෙනෙක්ම අපට අවශ්‍යයි. ශ‍්‍රීලනිපය ශක්තිමත් පක්‍ෂයක්. ඔවුන් අප සමග එකතු වීම නිසා අපි අපේ ඡන්ද ප‍්‍රමාණය සියයට 70 ක් දක්වා වැඩි කර ගැනීමට පුළුවන්කම ලැබී තිබෙනවා.

අද විශාල පිරිසක් මෙතැනට රැස්ව තිබෙනවා. මේ සෑම රැස්වීමකදී ජනතාව සෝදිසි කරනවා දකිනවා. අපි සාමකාමී රටක් බිහි කළා. හැඳුනුම්පත පරීක්‍ෂා කරන්නේ නැතිව, සෝදිසි කිරීම් නැතිව රැස්විම්වලට යා හැකි යුගයක් අප නැවත අපි බිහි කරනවා. රට අනාරක්‍ෂිත කළ වත්මන රජය නැවත සෝදිසි කරන යුගයක් ඇති කර තිබෙනවා. අපේ රජයක් තුළ අපි ප‍්‍රමුඛත්වය දෙන්නේ ආරක්ෂාව වෙනුවෙන්. යළිත් සුරක්ෂිත ආරක්ෂිත රටක් හදන්න අවශ්‍යයි. එවැනි වාතාවරණයක් නැවත ඇති කරන බවට පොරොන්දු වෙනවා.

නව ලිබරල්වාදී මත තිබෙන කිසිම ආණ්ඩුවක් ජාතික ආරක්‍ෂාවට ප‍්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. විජාතික අදහස්වලට නැමෙන්නේ නැති නායකත්වයක් රටට අවශ්‍යයි. එදා අවුරුදු තිහක් තිස්සේ පැවති යුද්ධයට දායකත්වය දැක්වූ රණවිරුවන්ට මහින්ද රාජපක්‍ෂ රජය අභිමානයක් ඇති කළා. ඒ අභිමානය නැති කල මේ ආණ්ඩුව රණවිරුවන්ව හිරේ දැම්මා. රණවිරුවන්ට අභූත චෝදනා එල්ල කළා. නැවතත් රටේ අන්තවාදී ත‍්‍රස්තවාදයක් ඇති නොවන ආකාරයට ආරක්‍ෂක අංශ, බුද්ධි අංශ ශක්තිමත් කරනවා. රටක ආරක්ෂාවක් නැතිනම් කිසිම විදේශීය ආයෝජකයන්, සංචාරකයන් එන්නේ නැහැ.

හොඳ ආර්ථික සැලැස්මක් තුළින් තමයි ජනතාවගේ ආර්ථිකය නඟාසිටුවිය හැක්කේ. අපිට නිවැරදි ආර්ථික සැලැස්මක් තිබෙනවා. සංස්කෘතිය හා බැඳුණු කෘෂිකර්මාන්තයෙන් විශාල පිරිසක් ජීවත් වෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල ප‍්‍රමුඛත්වයක් දුන්නා. ඉදිරි රජයකදිත් කෘෂිකර්මාන්ත ක්‍ෂෙත‍්‍රයට විශාල දායකත්වයක් ලබා දෙනවා. විදේශීය ආහාර වෙනුවෙන් යැපෙන්නට අවශ්‍ය නැහැ. සහල් ඇතුළු සෑම බෝගයකින්ම ස්වයංපෝෂිත විය යුතුයි. මේ නිසා තමයි අපි විවිධ සහන දෙන්න කටයුතු කරනවා.

පොරොන්දුවලට සීමා නොවී ගොවියා ජීවත් කරවීමට අවශ්‍ය තීන්දු තීරණ අරන් තිබෙනවා. ගොවියාට අවශ්‍ය පොහොර නොමිලේ ලබාදෙනවා. ගොවි ණය සියල්ලම කපා හරිනවා. ගොවි රක්ෂණය නැවත ඇති කරනවා. වගා හානිවලට සහනාධාර ලබා දෙනවා. ගොවියා හැමදාමත්ම දුප්පත්. ඒකට හේතුව තමයි විශාල මුදලක් වැය කිරීම. නමුත් නිෂ්පාදනවලට විශාල මුදලක් ලැබෙන්නේ නැහැ.

ගොවි ජනතාවගේ නිෂ්පාදනවල ඵලදායීතාව වැඩි කරන්න තාක්ෂණය අවශ්‍යයි. ගොවීන්ට තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. ගුණාත්මකභාවයෙන් වැඩි බීජ, පොහොර භාවිතය ඇතුළු දේවල් ගොවීන්ට හඳුන්වා දිය යුතුයි. වර්ෂය පුරාම වගා කරන්න පුළුවන් ක‍්‍රමවේද හඳුන්වා දිය යුතුයි. මේ තාක්ෂණය තුළින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන්. අපේ ආර්ථික සැලැස්ම මත අපි සෑම කොට්ඨාසයකම පිරිස් ඉහළට ගන්නවා. ආර්ථිකය ඉහළට ගන්න නම් අධ්‍යාපනය දියුණු කිරීම අවශ්‍යයි. උසස් අධ්‍යාපනය ලබා රැකියාවක් නැති විශාල තරුණ තරුණියන් පිරිසක් රටේ ඉන්නවා. විශාල මුදලක් වැය කරලා ඉගෙනගත් තම දරුවන්ට උසස් රැකියාවක් හොයා ගන්න බැරිව තිබෙනවා.

අපි විශාල ආයෝජනයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ලබා දෙනවා. නව ආර්ථිකය තුළ අපට අවශ්‍යයි උගත් පිරිස්. අපට උගත් තරුණ තරුණියන් අතරමං කරන්න අවශ්‍ය නැහැ. ඔවුන් රටේ ආර්ථිකයට දායක කරගෙන ඔවුන්ට හොඳ වේතනයක් ලැබෙන රැකියා නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස