රට ම තෙලෙන් බදින ඉන්ධන අර්බුදයට තිරසර විසඳුමක්…!

August 7, 2022 at 1:43 pm | by emanisa.lk

අපේ රටට වැඩියෙන්ම බලපෑ ඇත්තේ ගෑස් අර්බුදයට වඩා තෙල් අර්බුදයයි. ගෑස් අර්බුදය සම්බන්ධයෙන් යම් ප්‍රායෝගික විකල්ප විසඳුම් වේ. දර ලිප් භාවිතය එවැනි විසඳුමකි. ඉතාමත්ම නාගරික මහල් නිවාස වැනි නිවාසවල හැරුණු විට යම් ආකාරයක දර/ පොල්කටු අඟුරු ආශ්‍රිත විසඳුමක් පවතී. බොහෝ දෙනා දැනටම එවැනි විසඳුම්වලට අවතීර්ණ වී ඇති බවක් ද පෙනෙන්නට ඇත.

එහෙත් තෙල් අර්බුදය එනම් වාහන සඳහා වන ඉන්ධන අර්බුදය තවමත් නොවිසඳී පවතී. ඒ සඳහා තාවකාලික වූ විසඳුම් මෙන්ම දීර්ඝකාලීන වූ විසඳුම් ද වෙයි. ඒ ඇතැම් විසඳුම් ඉතා සරලය. එහෙත් ඊට අනුගත වීම තරමක් දුෂ්කරය. එම විසඳුම් ගැන කතා කිරීමට පෙර මෙතරම්ම අප තෙල් මත රඳා පවතින්නට සිදුවී ඇත්තේ ඇයිදැයි විමසා බැලීම යෙහෙකි.

1965 වර්ෂයේ සිට 2021 වසර දක්වා වාහන සඳහා ඉන්ධන පරිභෝජනය පහත ප්‍රරස්තාරය අංක 01 හි දැක්වේ. ඉතා පැහැදිලිව ඉන්ධන පරිභෝජනය 70 දශකයේ අවසානයේ සිට නැතහොත් අසූව දශකයේ මුල සිට වේගයෙන් (ත්වරණයකින්) වැඩි වී ඇත.

(ප්‍රස්තාරය 01: වාහන සදහා ඉන්ධන පරිභොජනය (1965-2020 දක්වා)

මෙම තත්ත්වය අපේ රටේ 1960-2021 දක්වා කාලය තුල වාහන ලියාපදිංචිය සමග සන්සන්දනය කිරීමෙන් තව දුරටත් පැහැදිලි වේ. 1977 න් පසුව, විශේෂයෙන්ම විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් රටට හඳුන්වා දීමෙන් පසුව රට තුළට වාහන කෙතරම් සීඝ්‍රතාවකින් ඇතුල් වූවා ද යන්න පහත ප්‍රස්ථාර 02 හා 03 මගින් මනාව පැහිදිලි වේ.

ප්‍රස්තාරය 02:වර්ෂ 1960-2021 වසර දක්වා වාහන සංඛ්‍යාව වැඩිවූ ආකාරය (වාහන වර්ගය අනුව)

ප්‍රස්තාරය 03: වර්ෂ 1960-2021 වසර දක්වා සමස්ත වාහන සංඛ්‍යාව වැඩිවූ ආකාරය
මේ අනුව ඉතා පැහැදිලි ලෙසම වාහන මිලදී ගැනීමට පෙළඹීම 1977න් පසුව ඇති වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමග ඉතා සීඝ්‍රයෙන් වැඩි වී ඇති බව ඔබට පැහැදිලි වේ. උදාහරණයක් ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 1960 වසර අවසානය වන විට ද මුළු රටේම පැවති සමස්ත වාහන සංඛ්‍යාව 137,643 ක් විය. 1976 වසර අවසානය වන විට එම සංඛ්‍යාව 199,660ක් විය. එනම් වසර 16ක් වැනි දීර්ඝ කාලයක් තුළ වාහන සංඛ්‍යාව වැඩි වූයේ 62,000න් පමණ ය.

එහෙත් 1976 අවසානය වන විට 199,660 ක්ව පැවැති වාහන සංඛ්‍යාව 1980 වන විට 337,382 දක්වා වැඩි විය. ඒ් අනුව වසර 4ක් වැනි කෙටි කාලයක් තුල සමස්ත වාහන සංඛ්‍යාව 138,000න් පමණ වැඩි විය. අද වන විට, එනම් 2022 මැයි මස වන විට එය 8,341,861ක්, එනම් මිලියන 8.3ට මදක් වැඩි සංඛ්‍යාවක් දක්වා සීඝ්‍රයෙන් වැඩි වී ඇත (ප්‍රස්තාරය 03). ඒ අතුරින් 1976 වනවිට 23,384ක්ව පැවැති යතුරුපැදි (මෝටර් සයිකල්) සංඛ්‍යාව 2022 මැයි මස වන විට ලක්ෂ 48 (4,831,077) ඉක්මවීය. ඒ අනුව එය අදවන විට සමස්ත වාහන සංඛ්‍යාවෙන් 58% ක් පමණ වේ (ප්‍රස්තාරය 04).

ප්‍රස්තාරය 04: වසර 2022 මැයි මස වන විට සමස්ත වාහන සංඛ්‍යාව ගොනුවී තිබූ අයුරු

එසේම 1979 වසරේ මෙරටට හදුන්වා දෙනු ලැබූ ත්‍රී වීලර් රථ සංඛ්‍යාව එය හදුන්වා දුන් එම වසරේ 244ක් විය. අදවන විට එම සංඛ්‍යාව ලක්ෂ 12 (1,184,337) ක් පමණ වේ. එය සමස්ත වාහන සංඛ්‍යාවෙන් 14% ක් පමණ වේ. ඒ අනුව මෙහි ඇති වැදගත් කරුණ නම් සමස්ත වාහන සංඛ්‍යාවෙන් 72% ක් පමණ, එනම් 2/3ක් පමණ නියෝජනය වනුයේ යතුරුපැදි හා ත්‍රී වීලර් රථ මගිනි.

මෙම කාලය තුල, එනම් 1976 (93,769ක් වූ) පටන් 2022 මැයි මස වන විට කාර් රථ වැඩි වූයේ ලක්ෂ 9 (901,070) දක්වා ය. එය සමස්ත වාහන සංඛ්‍යාවෙන් 11% ක් පමණ වේ.

මේ අනුව 1977 පටන් මේ දක්වා 41.78 ගුණයකින් (එනම් 4871% න්) මෙරට සමස්ත වාහන සංඛ්‍යාව වැඩිවී ඇත. ජනගහන වර්ධනයට සාපේක්ෂව මෙය විශාල වැඩි වීමකි. මේසා විශාල වශයෙන් මෙරට ජනයා වාහනයක් අත්පත් කරගැනීමට පෙළඹ වූ කරුණු කාරනා කවරේ ද ? ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන (ඩොලර්) ඔවුනට (රටට) ලැබුනේ කෙසේ ද?

මෙම කරුණ වෙනම ලිපියකින් සාකච්ඡා කළ යුතු තරම් වූවත් මෙහිදී එය කෙටියෙන්වුව සාකච්ඡා කළ යුතු වේ. එය එක් අතකින් මෙරට තුළ සිදු වූ මැද පන්තියේ ප්‍රසාරණය කියාපාන කරුණකි. අනෙක් අතින් සාමූහිකත්වයෙන් එතෙක් ජීවත් වූ ජනකායක් එම සාමූහිකත්වයෙන් මිදී (මුදවා) සිය පෞද්ගලික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම සඳහා වැඩිවැඩියෙන් සිය ගම් බිම් වලින් මිදී නගර කරා සංක්‍රමණය වූ ආකාරය කියාපාන්නක් ද වේ. කෙටියෙන් කිවහොත් විවිධ බඩු භාණ්ඩ අත්පත් කර ගැනීමේ කෑදරත්වය බෙහෙවින්ම වැඩි වූ (වැඩි කළ) කාල වකවානුවක් ලෙස ද මෙම යුගය අපට හඳුනා ගත හැකිය.

ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන විවිධ ණය යෝජනා ක්‍රම (උදා. ලීසිං) අලුතින්ම රටට හඳුන්වා දෙනු ලැබීය. එම වාහන හා අනෙකුත් බඩු භාණ්ඩ අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය “ඩොලර්” නැතහොත් විදේශ විනිමය උපයා ගැනීම ප්‍රධාන වශයෙන්ම විදේශ (මැද පෙරදිග) ශ්‍රම වෙළදපොළ සදහා ශ්‍රමිකයන් (ප්‍රධාන වශයෙන්ම කාන්තාවන්, මව්වරුන්) සැපයීම මගින් ද සංචාරක ව්‍යාපාරය හරහා ද සිදුවිය.

එහෙත් මේ සමස්ත කාලය පුරාම මෙරටට ආනයනය කළ පොදු ප්‍රවාහන සේවයට ද අවශ්‍ය වන්නාවූ බස් රථ සංඛ්‍යාව වැඩිවූයේ ලක්ෂයකින් පමණ ය. එනම් 1976 දී 13,142ක් වූ බස් රථ සංඛ්‍යාව 2022 මැයි මස වන විට වැඩිවූයේ 113,074 දක්වාය. එය සමස්ත වාහන සංඛ්‍යාවෙන් 1% ක් පමණ වේ. එයින්ද පොදු ප්‍රවාහනය සදහා යොදා ගැනෙනුයේ බස් රථ 30,000 ක පමණ වූ ප්‍රමාණයකි.

අද වනවිට මිලියන 8.3 (ලක්ෂ 83) ඉක්මවන විශාල වාහන ප්‍රමානය අප කුමන ආකාරයකට ඵලදායි ලෙස යොදා ගන්නේ ද? එම වාහන සදහා අපට ඩොලර් මත යැපීමට සිඳුවේ. එම ඩොලර් අපට ලැබෙන්නෙ භාණ්ඩ හා සේවා අපනයනයෙනි. එහෙත් අපගේ මේ අධික වියදම් පියවා ගැනීමට එම අපනයනයන් ප්‍රමානවත් නොවේ. එමනිසා විදේශ විනිමය හිගය පියවා ගැනීම සදහා තවතවත් විදේශ ශ්‍රම වෙළදපොළ සදහා අපේ කාන්තාවන් (මව්වරුන්) ඇතුළු ශ්‍රමිකයින් යැවීමට සිදුවේ. එසේ දුක්විඳ උපයා ගෙනෙන විදේශ විනිමය (ඩොලර්) සදහා නියමිත රුපියල් ප්‍රමාණයවත් ඔවුනට කිසිදාක ගෙවා නැත. ඒ අපට අඩු මිලට ඩොලර් මිලදී ගෙන යානවාහන ඇතුළු නොයෙකුත් බඩු භාණ්ඩ විදේශයන්ගෙන් ගෙන ඒම සඳහා ය.

එසේ උපයන ඩොලර් මදිවූ කල විදේශයන්ගෙන් ණය ලබාගනී. එම ණය ගෙවීම සදහා ද අප විදේශයන්ගෙන් ණය ලබාගනී. ඒ ණය කලින් ලබාගත් ණයට වඩා ලොකු ණයකි. ඒ ලොකු ණයෙන් කලින් ලබාගත් ණයෙන් කොටසක් ගෙවයි. ඒ ආකාරයට මේ දක්වා එකතු වී ඇති ණය ප්‍රමානය ඩොලර් බිලියන 52ට වඩා වැඩි ය. ඒ මෑතක දී තෙල් ගෙන්වීම සදහා ඉන්දියාවෙන් ලබාගත් ණය ද ඇතුලත්වය. ඉදිරියේදී ද තවතවත් අප ණය ගැනීමට නියමිත ය. ඒ ප්‍රධාන වශයෙන් අපගේ මිලියන 8.3 ඉක්මවන අති විශාල වාහන සදහා පුච්චා දැමීමට ය. එලෙස පුච්චා දැමීම සදහා වසරකට ඩොලර් බිලියන 6 ක පමණ තෙල් ප්‍රමානයක් අවශ්‍ය ය. අද ඇති වී ඇති අර්බුදය වනුයේ ඒ සදහා අපට වියදම් කිරීමට (පුච්චා දැමීමට) ඩොලර් මදිකම ය.

මහාචාර්ය අමල් කුමාරගේ මහතා විසින් 2008 වසරේ දී ඉදිරිපත් කරන ලද විශ්ලේෂනයකට අනුව අප සතුව ඇති වාහන ප්‍රමානය එහි විවිධ වර්ගයන්ට අනුව ඒවා මගී ප්‍රවාහනයට දක්වන දායකත්වය සහ ඒ සඳහා භාවිත වන ඉන්ධන ප්‍රමාණය අනුව සැලකූ විට අප ඉන්නේ කුමන තැනක ද යන්න වටහා ගත හැකි ය (වගුව 01 බලන්න). ඒ අනුව බස් රථ මගින් 60% ක මගී ප්‍රවාහනයක් ආවරණය කරන අතර ඒ සඳහා පරිභෝජනය කරනු ලබන ඉන්ධන ප්‍රමාණය සමස්ත වාහන සඳහා භාවිත වන ඉන්ධන ප්‍රමාණයෙන් 14% ක් තරම් අඩු ප්‍රමාණයකි.

වගුව 01: විවිධ වාහන කාණ්ඩයන් ගමනාගමනය සදහා දක්වන දායකත්වය හා ඒ සදහා  භාවිතා කරන ලද තෙල් ප්‍රමානය (2008 සංඛ්‍යා ලේඛණ වලට අනුව)

එසේ වුව ද පුද්ගලික කාර්, ද්විත්ව කාර්ය වාහන, මෝටර් සයිකල් හා ත්‍රීවීල් රථ ඇතුළු පුද්ගලික වාහන වලින් ආවරණය කෙරෙනුයේ මගී ප්‍රවාහනයෙන් 40% පමණ තරම් අඩු ප්‍රමාණයකි. ඒත් ඒ සදහා භාවිත වන ඉන්ධන ප්‍රමාණය 70% ක් තරම් අති විශාල ප්‍රමානයකි. ඒ එම වසරේ මිලියන 3.4ක් පමණ වූ මුළු වාහන ප්‍රමාණය සඳහා ය. අද (2022 මැයි වන විට) එම සංඛ්‍යාව මිලියන 8.3 ඉක්මවා ඇත (වගුව 02 බලන්න). එනම් වසර 13 ක් අතුළත වාහන සංඛ්‍යා දෙගුණයකට (2.44 ග්‍රණයකින්) ද වඩා වැඩි වී ඇත. අපගේ නාස්තිකාර පරිභෝජන රටාව එ් අනුව හඳුනා ගත හැකි ය. අද ද අප අනුගමනය කරනුයේ එම නාස්තිකාර පරිභෝජන රටාවමය.

වගුව 02: විවිධ වාහන කාණ්ඩයන් හා එහි ප්‍රමානයන් (2022 මැයි මස වන විට)

ගමනාගමනය යනු ආර්ථිකයක ජීව රුධිරය වන බව සැබෑය. එහෙත් මෙරට ගමනාගමනය යනු බලහත්කාර රුධිර සංසරණයකි. ඒ සඳහා වැය වන ශක්තියට අදාල ජීව කාර්යය වන්නේ නැත. මෙරට ගමනාගමනය යෙදී ඇත්තේ ඩොලර් පිලිස්සිමට පමණය. ඉපැයීමට නොව. ඒ නිසා මේ ආර්ථික ජීවන රටාවේ ගමනාගමනය සඳහා මෙලෙස තෙල් පොම්ප කිරිම පිළිබඳව වහාම සිතා බැලිය යුතුය. එලෙසම මේ ගමනාගමනය සඳහා විකල්ප බලශක්ති ආදේශ කිරීමට ප්‍රථම මේ බලශක්ති කාබාසිනියා කරන ගමනාගමන ව්‍යුහය ප්‍රතිසංස්කරණය කළ යුතුය.

අප වහාම අපගේ මෙම අධිපරිභෝජන ජීවන රටාව වෙනස් කරගැනීමට අදිටන් කරගත යුතු වේ. අප සිත්තුළ පවත්නා අතෘප්තිකර වේගවත්භාවය සපුරාලීමට නොව රටේ සැබෑ සමාජ ආර්ථික පාරිසරික තත්ත්වයනට ගැලපෙන ගමනාගමනයකට අප යොමු විය යුතුය.

අපගේ ගමන්බිමන් හැකිතාක් අවම කරගැනීමටත් ඒ සදහා හැකිතාක් තෙල් භාවිතය අවමවන අයුරින් පාපැදි (බයිසිකල්) භාවිතයට හුරුවීමටත් අප කටයුතු කළ යුතු ය. දැනටමත් ඒ සඳහා යම් ප්‍රමාණයකින් හෝ සමාජය හැඩගැසීමට උත්සහ ගන්නා අයුරු දක්නට ලැබීම සතුටට කරුණකි. එසේම මේ රට තුලම බයිසිකල් නිෂ්පාදනය කිරීම දිරිගැන්වීමද මංමාවත් ඒ සදහා සකස් කිරීම ද නොපමාව කළ යුතු වේ. මේ වන විට නර්ඩ් ආයතනයත් (NERD Center) මධ්‍යම ඉංජිනේරුමය උපදේශක කාර්යංශයත් (CECB) එක්ව මිනිස් බලයෙන් ක්‍රියාත්මක වන ට්‍රයිසිකලයක් නිපදවීමටත් අවශ්‍ය පියවර ගනිමින් ඇත. ඒ මගින් වඩා පහසුවෙන් සහ ආරක්ෂිතව දරුවන් ගෙන යාමටත් බඩු ගෙන යාමටත් හැකිවන වනු ඇත.

අද අප තෙල් නැවක් සඳහා ඩොලර් මිලියන 50-55ක් අතර මුදලක් වියදම් කරයි. ඒ අනුව එක් නැවක් සඳහා අප වියදම් කරන මුදලින් පාපැදි (බයිසිකල්) ලක්ෂ 12ක් පමණ ආනයනය කළ හැකි වේ. බස්රථ නම් 2000ක් පමණ ගෙන්විය හැකි ය. ඒ අනුව කෙටිකාලීනව ඉක්මනින් ගත යුතු පියවරක් ලෙස බයිසිකල් ලක්ෂ 15ක් පමණ ගෙන්වා අඩු මිලකට ජනතාව අතර බෙදා හැරිය හැකි නම් එය තෙල් නැවක් ගේනවාට වඩා රටට ඉතිරියක් වේ. තෙල් වලට යන මුදලින් කොටසක් යොදවා අවශ්‍ය බස් රථ ගෙන්වා හෝ/හා දැනට ධාවනයේ නොයොදවන බස්රථ සුදුසු පරිදි අලුත් වැඩියාවන්ට ලක්කොට ධාවනයේ යෙදවීමටත් පොදු ප්‍රවාහනය සදහා පමණක් තෙල් දිගටම ලබා දීමටත් අනෙකුත් පුද්ගලික වාහන සඳහා හදිසි අවස්ථාවකට පමණක් භාවිතයට අවශ්‍ය අවම ඉන්ධන ප්‍රමාණයක් නිකුත් කිරීමටත් පියවරගත යුතු වේ. ඒ අනුව සියලු දෙනා පොදු ප්‍රවාහනය සිය රැකියාවට, පාසලට හා අනෙකුත් එදානෙදා ගමන්බිමන් සඳහා යොදාගත යුතු වේ.

දීර්ඝ කාලීනව ගතහැකි පියවරක් වනුයේ සිය එදිනෙදා කටයුතු සිය නිවස/ගම අවට හැකිතාක් සීමා කිරීමට පියවර ගැනීම ය. ඒ අනුව දරුවන්ගේ පාසල, මව්පියන්ගේ රැකියාවන් සිය නිවස/ගම අවට හැකිතාක් සීමා කිරීම දැක්විය හැකි ය. මෙයට පෙළඹවීමක් ලෙස ජනප්‍රිය පාසල් සංකල්පයෙන් සම්පූර්ණයෙන් ගැලවීම සඳහා පියවර ගැනීම, ප්‍රාථමික අධ්‍යාපනය හා ද්විතීයික අධ්‍යාපනයෙන් කොටසක් නිවස/ගම අවට පාසලෙන් ලබාදීම හැර වෙනත් විකල්පයක් නොවන ලෙස දැනට ඇති ජනප්‍රිය පාසල් සියල්ල ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනයෙන් කොටසක් ලබාදෙන අධ්‍යාපන ආයතන බවට පත් කිරීමට පියවර ගැනීම යි.

මෙවැනි පියවර මගින් අණන සුවයෙන් යුතු, මතු නූපන් පරපුරවල් ණය නොකරන සතුට ධනය කරගත් ජන සමාජයක් ගොඩනැගීමටත් එමගින් නිවහල් අදීන ජාතියක් මේ පින් බිමේ අපට නැවතත් බිහි කරගත හැකිවනු ඇත.

වරලත් ඉංජිනේරු සංජීව විජේසිංහ
අතිරේක සාමාන්‍යාධිකාරි (ව්‍යාපෘති)
ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය

වරලත් ඉංජිනේරු කපිල පීරිස්
පර්යේෂණ විද්‍යාර්ති
ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනය

(අපගේ විශේෂ ස්තූතිය ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ජයසම්පත් ලියනගේ මහතාට හිමිවේ.)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස