අලුත් ආර්ථික කණ්ඩායම පිටුපස මිලින්ද මොරගොඩ…! මව්බිම කබලෙන් ළිපට වැටෙයි වගේ…! – ගෙවිඳු…

April 17, 2022 at 11:50 am | by emanisa.lk

ආර්ථික හා දේශපාලන අර්බුද සුළියකට රට ගොදුරු වී තිබේ. ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමට මෙහි ඇති වගකීම හා විසඳුම කුමක්ද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා සමඟ මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.

• ඔබ ඇතුලු ස්වාධීන වූ මන්ත්‍රීවරු පසුගිය ඉරිදා (අප්‍රේල් 10) ජනාධිපතිතුමාව හමුවුණා?

රට සම්පූර්ණයෙන් ම අරාජික වීමෙන් වළක්වා ගැනීමේ අවසන් ප්‍රයත්නයක් ලෙස දැනට විදුලිය, ගෑස්, ඉන්ධන නොමැති වීම නිසා ජනයා පීඩාවෙන් පීඩාවට පත්වෙලා. රුපියල මස්තබාල්දු වෙලා. යෙදවුම් ආනයනය කිරීමට නොහැකි වීමෙන් තව කර්මාන්ත ශාලා කර්මාන්තශාලා විශාල සංඛ්‍යාවක් අක්‍රීය වීමට නියමිත යි. එතකොට තව දස දහස් ගණනකගේ රැකියා අහිමි වෙනවා. ගොවිතැන?

අමතර වැටුප්, වරප්‍රසාද නොලබන සීමිත අමාත්‍ය මණ්ඩලයක අන්තර්කාලීන ආණ්ඩුවක් අපි යෝජනා කළේ. ඒ සඳහා දායක වෙන සියලු පක්ෂ නායකයන් ගේ දායකත්වයෙන් යුත් ‘ජාතික සභාවකින්’ ප්‍රතිපත්තිමය තීන්දු ගන්න අන්තර්කාලීන රජයක්. විදුලිය, ගෑස්, ඉන්ධන, ඖෂධ ගැටලු විසඳා අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සිදු කර, රට යම්, අවම හෝ ස්ථාවරත්වයකට ගෙනවිත් ගෙනැවිත් මහා මැතිවරණය පැවැත්විය හැකි වාතාවරණයකට ගෙන ඒමට.

• දුවන කෝච්චියට බෙල්ල තියන්න ද යන්නේ?

මේ අපේ මවුබිම. මවුබිම බිඳ වැටී ගොඩ නැගෙන ජීවිතයක් අපි අපේක්ෂා කරන්නේ නෑ.

• ජනාධිපතිතුමා ගේ ප්‍රතිචාරය?

සාකච්ඡාවල දී ඉතා ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණා. ඒ අනුව අවසන් එකඟතා සඳහා 12 වන දා හමුවීමට නියමිත ව තිබුණා. ඒත් 111 වන දා ශ්‍රීලනිපයේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාට රාජ්‍ය ඇමතිකමක් පිරිනමා තිබුණා.

• බැසිල් මහතාගේ කණ්ඩායමක් ස්වාධීන වූ මන්ත්‍රීවරු බිලිබා ගැනීමේ මෙහෙයුමක බව කියැවෙනවා?

එහෙම තොරතුරු පළ වෙනවා. ඒත් ඇමැති ධූරයක් දීම ජනාධිපතිතුමාට ප්‍රතික්ෂේප කළ හැකි ව තිබුණා. පොදු සාමූහික එකඟතාවක් අපේක්ෂා කළා නම්, අඩු ම තරමින් මේ පත්වීම එතෙක් නොකළ යුතු ව තිබුණා.

• ශාන්ත බණ්ඩාර මහතාට දුන් රාජ්‍ය ඇමැතිකම ‘රිවර්ස්’ කරන තුරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා නෑ කියා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබුණා?

ඔව් ! ඒ අපේ සාමූහික මතය.

• එතකොට රට?

දෙදහස් පන්සිය වසරකට වැඩි ඉතිහාසයේ දරුණු ම අභියෝගයක් අභියස.

• එහෙම වුණේ ඇයි? මෙතන අසමත් ආණ්ඩුව ද? ජනාධිපතිවරයා ද?

නෑ ඉතිං අපට… මෙතැන තියෙන්නේ අපි රජයක් භාර ගන්නේ රට හමුවේ පවතින අභියෝග දැකල නෙ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විවිධ අභියෝග මැද මව්බිම ඔසවා තබන ගමනක් ආව කියන එක අපි දන්නව නෙ. ත්‍රස්තවාදය පරාජය කළා වගේ ම රට හමුවේ පැවැති විදුලි අර්බුදයට විසඳුම් දෙමින් නොරෙච්චෝලේ සම්බන්ධයෙන් තීන්දුවක් ගත්තා.

ඉතිහාසය පුරා සාකච්ඡා කළ ඇතැම් අපේක්ෂා එතුමා යථාර්ථයක් බවට පත් කළා. සුනාමියෙන් විපතට පත් රටක, ත්‍රස්තවාදයෙන් බැට කන රටක සිට ලෝක ඉන්ධන මිල ඉහළ යද්දි ලෝක ආහාර අර්බුදයටත් මුහුණ දෙමින් කොටි ත්‍රස්තවාදය නිමා කළා. රටට අධිවේගී මාර්ග සහ ගුවන් පාළම් හඳුන්වා දෙමින් රට ඉදිරියට ගෙන ගියා.

• නමුත් මේ ජනාධිපතිවරයාට එහෙම බැහැ නෙ?

අපට අවශ්‍ය වුණේ ඒ මහින්ද රාජපක්ෂ යුගයේ තිබූ අඩුපාඩුත් නොමැති රටක්. 2010-2015 යුගය සම්බන්ධයෙන් විවේචන තිබුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා පවා ඒ පිළිබඳ සංවේදීව කරුණු ප්‍රකාශ කර තිබුණා. ඒ අඩුපාඩුත් නිවැරදි වෙච්චි ආණ්ඩුවක් අපි බලාපොරොත්තු වුණේ. නමුත් එවැනි තීන්දු ගැනීමක්, අභ්‍යන්තර සාකච්ඡාවක්, දූරදර්ශීභාවයක් අපට බොහෝ ක්ෂේත්‍රවල දකින්න ලැබුණේ නෑ.

• ඔබත් මේ ආණ්ඩුවේ හවුල්කාර සංවිධානයක නායකයෙක්. ඔබලා සමඟ මේ රටේ ප්‍රශ්න ගැන සංවාදයක් තිබුණෙම නැද්ද?

කණගාටුවට කාරණයක් තමයි ඒක. 2015 ඉඳන් 2019 දක්වා විපක්ෂයේ සිටින කාලයේ ඒ අභ්‍යන්තර සාකච්ඡාව තිබුණා. ඒ අභ්‍යන්තර සාකච්ඡාව බලය ලැබීමත් සමග අවසන් වූ බව තමයි, කනගාටුවෙන් වුණත් කියන්න වෙන්නේ.

• ඒ කියන්නේ බලයෙන් මත්වෙලා?

20 වැනි සංශෝධනය ම ඒ බව කියාපානවා නේද? 20 වැනි සංශෝධනය පිළිබඳ අපි අභ්‍යන්තර සංවාදයක් ගොඩනැඟුවා. රට වෙනුවෙන් නිවැරදි තීන්දු කිහිපයක් ලබා ගත්තා. ඊට අමතරව ජනාධිපතිතුමාගෙන් ප්‍රතිඥාවක් ලබා ගත්තා. ඒ සඳහා අපට ඉතා ම කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මහින්ද අගමැතිතුමාගෙන් ලබා ගත් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී පවා 20 වැනි සංශෝධනය පිළිබඳ නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න බැරි පරිසරයක් තිබුණේ.

• ඒ කියන්නේ ඔබලාව බිය වැද්දුවා?

බියවැද්දුවාම නෙවෙයි, නිදහසේ කතා කරන්න පරිසරයක් එතන තිබුණේම නෑ.

• අගමැති මහින්දත් නිශ්ශබ්දව හිටියේ?

නෑ..එතුමා අපට ඒ ඉඩ ලබා දුන්නා. ‘මේ සාකච්ඡාව ලබා දුන්නෙ ම මේ අයගේ අදහස් දැන ගන්න නෙ. ඒ නිසා අවස්ථාව දෙන්න’ කියලා එතුමා කිව්වා. තව පොඩ්ඩෙන් ඒ හමුව අදාළ සාකච්ඡාව සිදු නොවී අපට පාඩම් උගන්වන පන්තියක් වෙන්නයි ගියේ.

• කවුද ඔබලාට පාඩම් උගන්වන්න ගියේ?

මුලින් ම ජී.ඇල්. පීරිස් ඇමැතිතුමා, ඊට පස්සේ අලී සබ්රි ඇමැතිතුමා. ඊට පස්සේ තමයි, අපට අදහස් දක්වන්න අවස්ථාව ලැබුණේ. එතුමන්ලාගේ පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ කියලයි මම හිතන්නේ. අපි සාකච්ඡාව ඉල්ලුවේ අපට අවශ්‍ය වෙනස්කම් ටික කරගන්න. එහි දී වැරදි කරුණු පවා කිව්වා.

• වැරදි කරුණු කිව්වේ කවුද?

අලී සබ්රි ඇමැතිතුමා ප්‍රශ්න කළා 18 වැනි සංශෝධනය යුද්ධය ජයග්‍රහණය කරද්දි හොඳ නම් දැන් ඒකේ ඇති වැරැද්ද මොකක් ද කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ත්‍රස්තවාදය පරාජය කළේ 18 සංශෝධනය එන්න කලින්. ඒ වෙද්දි 17 වැනි සංශෝධනයෙන් ජනාධිපති ධූරය යම් ආකාරයකට දුර්වල කරල තිබුණේ. එතුමාගේ දේශපාලන පරිණතභාවය යොදා ගනිමින් සියලු පාර්ශ්වවල සහයෝගය ලබා ගනිමින් අවම පාර්ලිමේන්තු බලයක් තියා ගෙන තමයි, ත්‍රස්තවාදය පරාජය කළේ.
ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ලැබුණු ජනවරමත් එක්ක තමයි, 18 වෙනි සංශෝධනය ගෙනාවේ. මේ කාරණා දිහා අපට නැවත බලන්න වෙනවා. ඉතා ම දුර්වලයි කියලා අපි හිතපු ව්‍යවස්ථා යටතේ එතුමා යුද්ධය ජයග්‍රහණය කළා විතරක් නෙමෙයි, ජනතා ප්‍රසාදය ඉහළින් ම දිනාගත් නායකයෙක් වෙලා හිටියේ. 18 වැනි සංශෝධනයත් එක්ක තමයි, එතුමාගේ ජනප්‍රියත්වය නැති වුණේ.

• ඇත්තට ම 20 වෙනි සංශෝධනය සමග ආණ්ඩුව සහ හවුල්කාර පක්ෂ අතර ඇති වූ ගැටුම නේද මේ තවමත් දිග ඇරෙන්නේ

ජනාධිපතිතුමා ආදර්ශයක් දීලා තිබුණා නෙ. එතුමා ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන තමයි, ජනාධිපතිවරණයට ආවේ. ඇයි අපට ඒ ආදර්ශය එක්ක ඉදිරියට යන්න බැරි? ඒ වගන්ති ව්‍යවස්ථාවට ගෙනාවේ රාජපක්ෂලා දේශපාලනයෙන් පිටමං කරන්න වෙන්න පුළුවන්. නමුත් අපි ඒ අභියෝගය ජය ගත්ත නෙ. මේ රටේ ජනතාව නැවත රාජපක්ෂලා සමග හිට ගත්තා. බලයට ගෙනාවා. බලයට ආවට පස්සේ මීට වඩා විවෘත විදිහට ඒ දෙස බලන්න තිබුණා.

අපි කිව්වා ඒ වගන්තිය තියන්න කියලා. එතන දී 20 වෙනි සංශෝධනය වෙනුවට අවුරුද්දක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙන එන බවටත් එමගින් ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ සඳහා ඉදිරිපත්වීමේ හැකියාව සහ තනතුරු දැරීමේ අවස්ථාව අහිමි කරන බවටත් ජනාධිපතිතුමා අපට ප්‍රතිඥාවක් දුන්නා. එය පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරන්නත් පොරොන්දු වුණා. අලි සබ්රි ඇමැතිතුමා 20 වෙනි සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තුත පිළිතුරු කතාවෙ දී කිව්වා “මට ජනාධිපතිතුමා මේ සභාවට දැනුම් දෙන්න කිව්වා, එතුමාගේ දෙවෙනි පදවි ප්‍රාප්තියට පෙර නව ව්‍යවස්ථාවක් ගෙන එනවා, එමගින් ද්විත්ව පුරවැසියන්ට තනතුරු දැරීමට ඇති අයිතිය අහෝසි කරනවා.” කියලා.

• අවුරුදු දෙකක් ගතවුණා. කෝ ඒ පොරොන්දුව?

ඒක තමයි අපිත් මතු කරන්නේ.

• සමහර විට කොවිඩ් නිසා වෙන්න ඇති?

ව්‍යවස්ථා කෙටුම්පතක් නිර්මාණය කරන්න කොවිඩ් බලපානවා නම් ඒක මාර ප්‍රශ්නයක් නෙ. මෙතන තියෙන්නේ උවමනාව පිළිබඳ ප්‍රශ්නයක්.

• ඔබ හිතන්නේ ජනාධිපතිවරයා දුන් ප්‍රතිඥාව කඩ කලා කියල ද?

ඔව්, ඒ ප්‍රතිඥාව කඩවෙලා තියෙන්නේ. ඒ කියූ අවුරුද්ද දැන් ගෙවිලා ඉවරයි.

• විමල් වීරවංශ කිව්වා මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල්ට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මාස හතකින් හමුවෙලා නෑ කියලා?

ඒක විය හැකියි. අපට පක්ෂ නායක රැස්වීමක් කවද ද අවසානෙට තිබුණේ කියලවත් මට මතක නෑ.

• ටිකක් මතක් කරලා කියන්න?

එක රටක් – එක නීතියක් ජනාධිපති කාර්යය සාධක බළකායක් හදලා ඥානසාර හාමුදුරුවෝ ඒකට පත් කළානේ. ඒ ආසන්නයේම තමයි අවසාන පක්ෂ නායක රැස්වීම තිබුණේ. දැන් මාස කීයක් ද?

• ඒ පත්කිරීම ගැන ඔබේ මතය?

මට ඉඩ ලැබිච්ච අවස්ථාවල මම ජනාධිපතිතුමා හමුවෙච්ච හැම වෙලාවකම මම ඉල්ලා සිටියා ‘එක රටක් එක නීතියක්’ සංකල්පය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ තුළ කුමක් ද කළේ. එහෙම ජනාධිපති කාර්යය සාධක බලකායක් පත් කරනවා නම් මේ ජනාධිපතිතුමා වෙනුවෙන් පෙනී හිටපු භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, හොඳ නීතිඥයෙක් වෙන්න පුළුවන්, උගතුන්, බුද්ධිමතුන් වෙන්න පුළුවන්, මීට වඩා වඩාත් ගැලපෙන සුදුසු මුළු රටෙන්ම එකඟතාවක් ගන්න පුළුවන් කෙනෙක් පත් පත් කරන්න ඕනෑනේ. කාවද මේ පත් කළේ. ජනාධිපති ජනාධිපතිතුමාවයි අපි ඇතුළු එතුමාගේ රජයයි, ඒ උදාර සංකල්ප යළි ඒ සියල්ලම හෑල්ලුවට ලක්කීරීමක්නේ වුණේ.

• ඔබට තියෙන්නේ ඒ පත්කිරීම ගැන පෞද්ගලික ප්‍රශ්නයක් ද?

මම ඒකට මෙහෙම පිළිතුරක් දෙන්නම්කො. ඥානසාර හාමුදුරුවන් පත් කරපු ගමන් විදේශ කටයුතු ඇමති ජී.එල්. පීරිස් මැතිතුමා අරාබිකරයේ තනාපතිවරුන් කැඳවලා කිව්ව දැනට තියන කිසිදු පුද්ගල නීතියක් වෙනස් කරන්නෙ නෑ කියලා. එක එක ජනකොටස්වලට, ආගම්වලට හඳුන්වා දීපු නීති තියෙනවනේ.

එතකොට ජනාධිපතිවරයා කාර්ය සාධක බලකායක් පත් කරනවා. ‘එක රටක් රටක් එක නීතියක්’ වෙනුවෙන් එතුමාගේ විදේශ කටයුතු ඇමතිතුමා අරාබි කරයේ තානාපතිවරුන් කැඳවලා ප්‍රතිඥාවක් දෙනවා ‘පුද්ගල නීති වෙනත් කරන්නෙ නෑ’ කියලා කියල කාවද මේ රවට්ටන්නේ. මේක ද අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයෙන් බලාපොරොත්තු වුණේ?

කනගාටුයි. ලැජ්ජයි. අපි 2015 ඉඳලා කරපු විවේචනයක් තියෙනවානේ. ඒ විවේචනයෙන් එහාට ගිය මහින්ද මහත්තයාගේ පාලනයෙනුත් එහාට ගිය අඩුම තරමින් යම් අවංකභාවයක් සෘජුභාවයක් අපි ගෝඨාභය රාජපක්ෂ පාලනයෙන් බලාපොරොත්තු වුණානේ. මේක ඓතිහාසික රැවටිල්ලක්.

• ජනතාව දුන්න පොරොන්දු මොනව වුණත් නඩුවලින් නම් එක දිගට නිදහස් වෙමින් යනවා?

ඒකට මං මොකක්ද කියන්න ඕනෑ. ඔබ අහන ප්‍රශ්නය විසිවෙනි සංශෝධනයත් එක්කත් සම්බන්ධයිනේ. මේක මම නිතරම ප්‍රශ්න කරපු දෙයක්. ඉහළ උසාවිවලට විනිශ්චයකාරවරුන් පත්කිරීමේ බලය ඇයි ජනාධිපතිතුමා යටතටම ගන්නේ. මේක සමහර අය කෝපයට පත් කළ ප්‍රශ්නයක්.

• ඔබ ජනාධිපතිවරයාගේ අවංකකම ප්‍රශ්න කරනවා ද?

අලුත් තත්ත්වයක් නෑ. පැරණි ප්‍රශ්න ම තමයි, තියෙන්නේ. කෝ අලුත් ව්‍යවස්ථාව. මේ කොරෝනා නිසා ඒක ගේන්න බැරි වුණා කියල හිතමු. හැබැයි අවංක උවමනාවක් තියෙනවා නම් ජනාධිපතිතුමාට බලය තියෙනවනේ ද්විත්ව පුරවැසියන් රටේ ප්‍රධාන තනතුරුවලට පත් නොකර ඉන්න. කැබිනට් ඇමතිවරු පත්කරන්නේ ලේකම්වරුන් පත්කරන්නේ ජනාධිපතිතුමානේ. අපි එතුමාගෙන් ඉල්ලා සිටියා ‘ඔබතුමා අවංක නම් මේක කරන්න’ කියලා. තමන්ගේ තියෙන නඩුවලින් රටේ පොදු යහපතට නැතිව පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් නම් ඒ බලය අතට ගත්තේ ගත්තෙ ඒක මොන අපරාධයක් ද? අලුත් ව්‍යවස්ථාවක් නැති වුණත් ජනාධිපතිවරයාට බලය තියෙනවා. ඒක කරන්න.

• ඇයි මේ ද්විත්ව පුරවැසි ප්‍රශ්නෙම එල්ලිලා ඉන්නෙ? ඇත්තම ප්‍රශ්නය බැසිල්?

විදේශිකයෙකු මහ බැංකු අධිපතිකමට පත් කරලා වෙච්ච දේ මතකනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇමරිකන් පුරවැසිභාවය අත්හැරියා නම් ඇයි බැසිල් මහත්තයට ඒ ආදර්ශය අනුව කටයුතු කරන්න බැරි.

• කැබිනට් එක ඉල්ලා අස්වුණා.

ඇත්තටම එහෙම ද? අගමැති එහෙම්මයි. ආයෙ ඇමැතිවරුන් කීප දෙනෙක් පත් කළා. පේන විදියාට රාජ්‍ය ඇමැතිවරු ඉන්නවා. මේ මොන විහිළුද?

• රට මෙතැනින් කොහෙටද ?

දැන් අලුත් ආර්ථික කණ්ඩායම නිර්මාණය කිරීම පිටුපස තවත් ද්විත්ව පුරවැසියෙක් වන ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ කටයුතු කරන බවට තොරතුරු පළවෙනවා.

• ඔබ එහෙම කියන්නෙ?

පොදුජන පෙරමුණ සාමූහිකවල මොරගොඩ මහතාට ස්තූතිය පළ කරලා තිබුණා. මොරගොඩ මහත්තයාගේ දායකත්වය ගැන. මව්බිම කබලෙන් ළිපට වගෙයි පේන්නේ.

ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
‘ඉරිදා ලංකාදීප’ පුවත්පත

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස