අර්බුදයෙන් බේකරි කර්මාන්තය හාන්සියි..! බේකරි 3500ක් චූන්පාන් වාහන 90%ක් නවතී…! ලක්ෂ දෙකක් හිඟමනට වැටේ…!

June 16, 2022 at 9:54 am | by emanisa.lk

මේ වන විට දිවයිනේ බේකරි 3500ක් පමණ වැසී ගොස් බේකරි කර්මාන්තයේ ඝෘජු හා වක්‍ර රැකියාවල යෙදුණු ලක්ෂ දෙකකට ආසන්න පිරිසකට සිය රැකියා අහිමි වී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි.

ගෑස්, ඩීසල් සහ භූමිතෙල් හිඟය නිසා බේකරි කර්මාන්තය පවත්වා ගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. මේ නිසා සමස්ත බේකරිවලින් සියයට පනහක් පමණ අකර්මන්‍ය වී ඇතැයි ද බේකරි හිමියන් බැංකුවලින් ලබාගත් ණය පවා ගෙවා ගැනීමට අපහසු තත්ත්වයට පත්ව සිටින බවද සභාපතිවරයා සඳහන් කරයි.

පෙට්‍රල් අර්බුදය නිසා චූන් පාන් වාහනවලින් සියයට 90ක්ම මේ වන විට නතර වී තිබෙන බවත්, බේකරි නිෂ්පාදන බෙදාහරින ලොරිවලට දින පහ හය ඉන්ධනහල්වල පෝලිමේ සිටීමට සිදුවී ඇතැයිද සභාපතිවරයා සඳහන් කරයි. මේ නිසා බේකරි නිෂ්පාදන දෛනිකව බෙදා හැරීමද අඩපණ වී තිබෙන බව ද ඔහු කියයි.

බේකරි කර්මාන්තය සඳහා බිත්තර, මාගරින්, එළවළු, පොල්තෙල් සැපයුම්කරුවන්ට ද මේ වන විට සිය ආදායම් මාර්ග ඇහිරී තිබෙන බවයි සභාපතිවරයා පෙන්වා දෙයි.

බේකරි හිමියන් මුහුණපාන ගැටලු සඳහා යම් සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස අගමැතිවරයාට ලිපි දෙකක් යවා තිබෙන බවත්, ඒවාට නිසි ප්‍රතිචාරයක් නොමැති බවද සභාපතිවරයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *