මහ මැතිවරණයට ශ්‍රීලනිපයට 1/3ක අපේක්ෂක ප්‍රතිශතයක් ඕන! හාමුදුරුවරු ඉදිරිපත් කරනවාද නැද්ද කියලා අපි තීන්දු කරලා නෑ! – දයාසිරි

January 21, 2020 at 6:04 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව පිහිටුවීමට නියමිත සන්ධානයෙන් එළඹෙන මහ මැතිවරණය සඳහා අපේක්‍ෂක ලැයිස්තු සකස් කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට තුනෙන් එකක අපේක්‍ෂක ප‍්‍රතිශතයක් ලබාදිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඒ සඳහා එකගතාවක් ඇතිව තිබෙන බව කී මහලේකම්වරයා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ඡන්ද ප‍්‍රමාණය අනුව එම තීරණයට එළඹ තිබෙන බව ද සඳහන් කළේය.

දැනට විදෙස්ගතව සිටින බැසිල් රාජපක්‍ෂ යළි පැමිණි පසු පොදුජන එක්සත් පෙරමුණ වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉන්පසු මහ මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ ගැන සාකච්ඡා කළ යුතු බව ද කීවේය.

ඡන්ද ලකුණ සහ අපේක්‍ෂක ප‍්‍රතිශතය සම්බන්ධයෙන් දැනට ඇතිකරගෙන තිබෙන එකඟතා අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ද මහලේකම්වරයා කියා සිටියේය.

මහලේකම්වරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ශ්‍රී.ල.නි.පය උතුරු, නැගෙනහිර පළාත්වල යම් තරමකට බලවත් නිසා අපේක්‍ෂකයින් ඉදිරිපත් කිරීමේදී එම පළාත් වෙනුවෙන් වැඩි අවස්ථාවක් ලබාදීමේ එකගතාවක්ද තිබෙන බව මහලේකම්වරයා පැවසීය.

ඉදිරි මහ මැතිවරණය සදහා භික්‍ෂූන් වහන්සේලාට නාමයෝජනා දෙන්නේද නැද්ද යන්න ගැන ශ්‍රී.ල.නි.පය මෙතෙක් තීරණයක් ගෙන නැතැයි කී දයාසිරි ජයසේකර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගන්නා තීරණය අනුව මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා කර පක්‍ෂයද තීරණයක් ගන්නා බව සඳහන් කළේය.

මේ වන විට සියලූ දෙනා පොහොට්ටුව හා එක්ව ඇති නිසා ශ්‍රී.ල.නිපයක් නැති බවට එස්.බී දිසානායක හා ඩිලාන් පෙරේරා මහත්වරුන් කර ඇති ප‍්‍රකාශය අනුමත නොකරන බව කී මහලේකම්වරයා පක්‍ෂය ඉදිරියටත් තිබෙන බව ද කීවේය.

නමුත් ඔවුන් දෙදෙනාව පොදුජන පෙරමුණේ අය ගණන් නොගන්නා නිසා ඡන්දයේදී ශ්‍රී.ල.නි.ප පාක්‍ෂිකයන්ගෙන් සහය ලබාගැනීමට සිදුව ඇතැයි ද ජයසේකර මහතා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස