28 වසරකට පසු අපනයන සංවර්ධන සභාව රැස්වෙයි! විදෙස් ආයෝජන ගේන්න තානාපති සේවයත් යොදාගන්න සැලසුම්!

September 24, 2020 at 11:14 am | by emanisa.lk

අපනයන සංවර්ධන සභාව වසර 28කට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වී තිබේ.

1979 අපනයන සංවර්ධන පනත මඟින් අපනයන සංවර්ධන සභාව ස්ථාපනය කෙරුණු අතර, අපනයනකරුවන් ශක්තිමත් කර ක්ෂේත්‍රයේ ගැටලු විසඳීම ඉන් අපේක්ෂා කෙරිණි.

ප්‍රතිපත්ති සම්පාදනය අනුමැතිය සහ නිර්දේශ දීම අපනයන සංවර්ධන සභාවට අයත් කාර්යයන් වී තිබුණි.

රාජ්‍ය, පෞද්ගලික දෙයංශයේ අපනය ක්ෂේත්‍රය සංවර්ධනය කොට ගෝලීය වෙළෙඳපොළ ජය ගනිමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම වේගවත් කිරීම සභාවේ විෂයපථයට අයත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙයි.

අපනයන සංවර්ධන සභාව යළි සංක්‍රීය කරමින් පළමු  හමුව ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති අතර ක්ෂේත්‍රයේ ගැටලු විසඳමින් ගතයුතු ඉදිරි පියවර සමාලෝචනයට අපනයන සංවර්ධන සභාව මසකට වරක් රැස්විය යුතු බවට එහිදී යෝජනා වී තිබේ.

අපනයනකරුවන්ට නව වෙළෙඳපොළ අවස්ථාව උදාකරදීම සඳහා අපනයන සංවර්ධන සභාවට පැවරී ඇති වගකීම අවධාරණය කළ ජනාධිපතිවරයා කියාසිටියේ, ඒ ඒ රටවල අවශ්‍යතාව අනුව අපනයන ක්ෂේත්‍රයේ විවිධාංගීකරණයක අවශ්‍යතාවක් පවතින බවය.

අත්සන් කර ඇති ජාත්‍යන්තර වෙළෙඳ  ගිවිසුම් බොහෝමයක් රටට හිතකර නොමැති අතර රටට වාසිදායක හා වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකි අන්දමින් එම ගිවිසුම් කඩිනමින් සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර තිබේ.

මේ අතර ආයෝජකයින් හඳුනාගෙන ආයතන සහ පුද්ගල මට්ටමින් සැළසුම් කර ඇති නව නිපයුම් වෙළෙඳපොළට හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැළසුම් පිළිබඳව ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම උපදෙස් ලබාදී තිබේ.

ආයතන ගණනාවක් කර ඇති පර්යේෂණවල ප්‍රතිඵල ලෙස දේශිය හා අන්තර්ජාතික වෙළෙඳපොළ දිනාගත හැකි නව නිපයුම් රැසක් සැළසුම් කර ඇති අතර, ඒවා නිෂ්පාදනයෙන් විදේශ විනිමය විශාල ප්‍රමාණයක් රටට උපයා ගැනිමටත් ණය නිපැයුම්කරුවන් දිරිගැන්වීමටත් හැකි වන බව ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

ලෝකයේ සෙසු රටවල් සහ සැසදීමේ දී ආයෝජකයින් ආකර්ෂණය කරගැනිමේ පසුබිමක් රට තුළ ගොඩනැගී ඇති අතර නිසි ප්‍රචාරණ ව්‍යාපාරයක් මඟින් හා තානාපතිවරුවන්ගේ සහය ඇතිව ආයෝජකයින් ගෙන්වා ගැනිමට සැළසුම් සකස් කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

ආයෝජන අවස්ථා හඳුනාගෙන යටිතල පහසුකම් හා අවශ්‍ය අනුමැතිය පිළියෙල කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය ආයතන ගමට යාමේ වැදගත්කමත් බැංකුවල සහය කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට දිමෙන් වේගවත් ආර්ථික සංවර්ධනයක් අපේක්ෂා කළ හැකි බවත් කියාසිටියේ ය.

සිමෙන්ති සහ යකඩ මිල පහත දැමීමට ඇති හැකියාව සොයා බැලීමට උපදෙස් දුන් ජනාධිපතිවරයා කියාසිටියේ, ඉන් ඉදිකිරිම් ක්ෂේත්‍රයේ පිරිවැය අඩුකර ගත හැකි බවය.

2015 වසරට පෙර රටේ පැවති සංවර්ධන පරිසරය යළි උදාකර ගත යුතු බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පොල් ඉඩම් කට්ටිකිරීම වහා නතර කළ යුතු බවට මෙහිදී අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස