අක්කර 5ට වැඩි පොල් ඉඩම් කැබලිකිරීම තහනම්! පොල් ගසි කැපීම පාලනයට නව නීති!

January 24, 2020 at 12:40 pm | by emanisa.lk

අක්කර පහට වැඩි පොල් ඉඩම් කැබලි කර විකිණීමට නොහැකි පරිදි නීති සකසා ලබන මාසයේදී කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සූදානම් වෙයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී ඊයේ (23) පැවැති පොල් ක්​ෂේත්‍රයට අදාළ නියාමන කමිටුව රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

වැවිලි කර්මාන්ත,අපනයන කෘෂිකර්ම ඇමැති රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැති මෙම රැස්වීමට පොල් වගාකරුවන්ගේ සහ පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ සංවිධාන නියෝජිතයින්, පොල් ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගි වූහ.

මේ අනුව මෙතෙක් කාලයක් පැවති අක්කර 10ට වැඩි ඉඩම් කැබලි කිරීමට නොහැකි නීතිය අක්කර පහ දක්වා පහත දැමෙයි

ඉවක් බවක් නැතිව පොල් ගස් කැපීම පාලනය කිරීම සඳහා කොන්දේසිවලට යටත්ව ගස් හෙළීමේ පනතට පොල් ගසත් ඇතුළු කිරීම පිළිබඳවද මෙහිදී යෝජනා වී ඇත.

මෙරට පොල්ගස්වලින් සියයට හැටක් අවුරුදු හැටට වැඩි ගස් තියෙන්නේ.පොල් ගසක් කපා ඉවත් කරන්නේ නම් විකල්ප පොල් ගසක් සහිතව ඉවත් කිරීමට මෙම සාකච්ඡාවේදී යෝජනා වී ති⁣බේ.

ඒ අනුව පොල් පැළයක් සිටුවා රෝගී, අවදානම් පොල්ගස් ඉවත් කිරීමට හැකියාව ලැබෙන අතර නිවසක් ඉදිකිරීමේදී පොල් ගසක් ඉවත් කිරීමට අවශ්‍ය නම් කොන්දේසිවලට යටත්ව ඉවත් කිරීමට හැකියාව ලැබෙයි.

පොල් ගසට රතු කුරුමිණියාගෙන් සහ කළු කුරුමිණියාගෙන් වන හානිය මර්දනය කිරීම සඳහා දීපව්‍යාප්ත වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස