ඇගළුම් වෙනුවට ඖෂධ අපනයනය කරන ලංකාවක් අපි හදනවා! – බැසිල්

August 18, 2020 at 9:01 am | by emanisa.lk

ඉදිරි වසර පහ ඇතුළත මෙරට ඖෂධ අවශ්‍යතාව සපුරාලීමටත්, අපනයනය ඉලක්ක කරගෙන නිෂ්පාදනය ඉහළ නැංවීමටත් රජයේ අවධානය යොමුව ඇතැයි ආර්ථික, පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන මැති ඇමැතිවරුන් හා රජයේ නිලධාරින් සමග ඊයේ (17) සවස අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය.

දේශීය ඖෂධ අවශ්‍යතාවෙන් 85% ක්ම විදේශයෙන් ගෙන්වීම සඳහා රජය අති විශාල පිරිවැයක් දරන බව පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ දේශීය අවශ්‍යතාවට සරිලන අයුරින් සහ අපනයන ධාරිතාවෙන් යුත් කර්මාන්තශාලා පෞද්ගලික ආයෝජකයන් හා සම්බන්ධ වී ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවය.
ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත ජනවරමක් ලබා දුන් ජනතාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැහැදිලි වෙනසක් අපේක්ෂාවෙන් සිටින බවත්, එම වෙනස උදා කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ආයාතනවල සහ අපනයන ක්ෂේත්‍රයට අදාළ ආයතනවල සහාය බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලංකාවට ඒ වෙනුවට ඉදිරි වසර පහක කාලයේ දී ඖෂධ අපනයන ක්ෂේත්‍රයෙන් ඉදිරියට පැමිණීමේ හැකියාව ඇති බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, ​ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති චන්න ජයසුමන අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ සහ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස