20 කියන්නේ ගෝඨා-මොහොමඩ් අලි සබ්‍රි සංශෝනයට! – ජවිපෙ

September 25, 2020 at 8:05 pm | by emanisa.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17,18,19 සහ 20ටද අත උස්සන මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බවත් ඔවුන් කෞතුකාගාරයේ තැබිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.

ඒ ඊයේ (24) කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී විස්ස කාගෙද? සම්මන්ත්‍රණයට එකතු වෙමිනි.

“19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාපු වෙලාවේ අයිතිකාරයෝ ගොඩක් හිටියා. එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඒ වෙනුවෙන් ඔහුගේ දායකත්වය ගැන බොහෝ අවස්ථාවල කියා තිබෙනවා. හැබැයි, විසිවැනි සංශෝධනයට අයිතිකාරයෙක් නැහැ. ඒ නිසා ‘විස්ස කාගේ ද’ කියලා අපේ සම්මන්ත්‍රණයට මාතෘකාවක් දාන්න සිද්ධ වුණා. ලක්‍ෂ හැටනවයක් ඡන්ද ගත්ත තුනෙන් දෙකක ඡන්ද ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ තිබෙන ආණ්ඩුවක විස්ස කාගේද කියන්න කවුරුත් ඉදිරිපත් වුණේ නැහැ. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කෙටුම්පත සම්මත කළා. නමුත් 20 ගැසට් කළාට පස්සේ ඒකේ තියෙන්නේ මොනවා ද කියලා හොයන්න 20ට අත උස්සපු මහින්ද රාජපක්‍ෂ මහත්තයා ඒකට අත උස්සපු ඇමතිවරුන් පස්දෙනකුගෙන් සමන්විත කමිටුවක් දැම්මා. කැබිනට් මණ්ඩලය රට සම්බන්ධයෙන් තීරණ ගන්නේ කොහොමද කියලා ඔබට හිතන්න පුළුවන්.

 

දවස් කීපයකට පස්සේ ඒ ගැන වාර්තාවක් අගමැතිවරයාට දුන්නා. ඒ අතර ගෙවිඳු කුමාරතුංග ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරයා කිව්වේ, මේ ගැන ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා, අලුත් ගැසට් එකක් ගහන්න පොරොන්දු වූ බවක්. කාගේ කාගේත් මත සලකා බලලා, ප්‍රජාතන්ත්‍රවාදීව ඇහුම්කන් දීලා විස්ස වෙනස් කරන්න ජනාධිපතිතුමා එකඟවූ බව මාධ්‍ය හමුවේදී කීවා. නමුත් ගැසට් කරපු 20 ඒ විදියටම පාර්ලිමේන්තුවට ගෙනාවා. විස්ස අවජාතක නැහැ. කාගෙද කියලා හොයන්න පුළුවන්. විස්ස ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ. එයාගේ නඩු නොමිලේ කතා කරපු පිනට අධිකරණ ඇමති ධුරයට පත් වුණු මොහොමඞ් අලි සබි්‍ර ලව්වා ලියවා ගත්ත එකක්. ඕනෑ නම් කාට හරි කියන්න පුළුවන්, ‘ගෝඨාභය – මොහොමඞ් අලි සබි්‍ර සංශෝධනය’ කියලා. ඒ ගොල්ලන්ට ඡන්දය දීපු ජනතාවටත් තේරෙනවා වැඬේ අප්සෙට් කියලා.

 

මේ දේශපාලනය කෙතරම් විහිළුසහගතද කියලා කියනවා නම්, දාහතටත් අත උස්සපු, දහඅටටත් අත උස්සපු, දහනවයටත් අත උස්සපු, විසිහත් දෙනෙක් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. විස්සටත් අත උස්සන්න බලාගෙන ඉන්න පිරිසකුත් මේ අය අතර ඉන්නවා. ඒ අය කෞතුකාගාරයේ තියන්න ඕනෑ. විධායක ජනාධිපති ධුරයේ බලය යම් කිසි ප්‍රමාණයක් කප්පාදු කරපු දහහත, දහනවය දෙකටත් අත් උස්සලා, ඒ බලය ආයේ එකතු කරන දහඅටට සහ විස්සටත් අත් උස්සනවා. මේකෙන් පේන්නේ විධායක ජනාධිපති ධුරය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පඹයෝ බවට පත් කළා කියන එක. ජනාධිපතිවරයා හිතන විදියට මන්ත්‍රීවරයා වැඩ කරනවා. හෘදයසාක්‍ෂිය, වියත්කම සහ ජනතා නියෝජනය අදාළම නැහැ. පක්‍ෂයක් හැටියට අපි 1978 සිටම මේකට එරෙහිව අරගල කරමින්, මෙය අහෝසි කරන්න හැම උත්සාහයක්ම ගනිමින් සිටිනවා. පාර්ලිමේන්තුව තුළ, එළියේ සටන් ව්‍යාපාර තුළ සටන ගෙන යනවා. ඒ සටන අපි අත්හැරලා නැහැ. ඒ සටන පාවිච්චි කරලා බලය ගත් අය ඒ සටනත් පාවා දීලා තියෙනවා. හැබැයි, ජනතා විමුක්ති පෙරමුණ මේ සටනේ අඛණ්ඩව ඉන්නවා.

 

විස්සට විරුද්ධවීම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සටනක් විතරක් නොවෙයි. 20 අධිරාජ්‍යවාදී මැදිහත්වීම තීව්‍ර කරන්න ගෙනෙන සංශෝධනයක් නිසා අධිරාජ්‍යවාදයට එරෙහි සැබෑ දේශප්‍රේමී ජනතාව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙළගැසෙන හැම දෙනාටම විස්සත් එක්ක දේශපාලන අරගලයක් තිබෙනවා. ඒ දේශපාලන අරගලයට ජනතා විමුක්ති පෙරමුණ හැටියට නායකත්වය දෙන්න අපි සූදානම්. ජාතික ජන බලවේගයත් ඊට සූදානම්. ජනතාවට මේ ඇත්ත පහදා දීම සහ ඔවුන් පෙළගැස්වීම තුළින් ජනතාවගේ ඇස්වලට වැලි ගහලා බලය ගත්ත අයගේ සැබෑ ස්වරූපය අපි කියලා දෙනවා. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම මේ වගකීම උරමත පටවාගෙන ඉදිරියට යමු කියලා ආරාධනා කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස