ලංකාව හමුදාපති පත්කළේ අපට ඕන විදිහට නෙමේ! සාම සාධක හමුදාවට ලංකා සෙබළු එපා! – එක්සත් ජාතීන්…

September 26, 2019 at 10:41 am | by emanisa.lk

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කිරීම මුල් කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව මින් ඉදිරියට එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නැවැත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයකු උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘ෆොරින් පොලිසි’ සඟරාව ඒ බව වාර්තාකර ඇත.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන ශ්‍රී ලංකා යුද හමුදාවේ බළකා එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල යෙදවීම නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සාම සාධක දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ද විරෝධය පළකර තිබිණි.

මෙහෙයුම් සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා හමුදාවල සහභාගීත්වය අත්‍යවශ්‍ය නොවන්නේ නම් මින් ඉදිරියට අලුතෙන් ශ්‍රී ලංකා හමුදා එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට සම්බන්ධ කර නොගන්නා බව ද එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකයා ‘ෆොරින් පොලිසි’ සඟරාවට පවසා ඇත. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට ශ්‍රී ලංකාව ලබා දී තිබෙන දායකත්වය සම්බන්ධයෙන් කෘතඥ වන නමුත් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත් කිරීම කනගාටුදායක හා ප්‍රශ්නකාරී බව මේ සම්බන්ධයෙන් ‘ෆොරින් පොලිසි’ සඟරාවට අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්ගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් සඳහන් කර ඇත.

ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිචෙල් බැචලේ මහත්මිය පසුගිය මාසයේ දී සිය කනස්සල්ල පළ කර තිබිණි.

හමුදාපති ධුරයට ශවේන්ද්‍ර සිල්වා පත්කිරීමට ඇමති මංගල සමරවීර ද එරෙහි විය. ඔහු සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන කණ්ඩායමේ ප්‍රමුඛයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස