රටට එරෙහි බොරු ඇතුළත් බැචලේගේ වාර්තාව ජිනීවා යවන්න පෙර ලංකාවට එවලා! ජනපතිට නොදන්වා අරලියගහ මන්දිරයෙන් අනුමත කරලා! – උතුරේ ආණ්ඩුකරු හෙළි කරයි…

March 26, 2019 at 11:19 am | by admin

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද වාර්ෂිකව වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අනුමැතියකින් තොරව පිළිගෙන ඊට ප්‍රතිචාර දක්වා තිබූ බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් කොළඹ දී අද (25) පැවැසීය.

මහ කොමසාරිස්වරියාගේ වාර්ෂිකව වාර්තාව නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ශ්‍රී ලංකාවට එවා තිබූ බවත් එම වාර්තාව පිළිගෙන සම අනුග්‍රහය දැක්වීම සඳහා එකඟත්වය පළ කරමින් ඊට ප්‍රතිචාර දක්වා තිබූ බවත් ආණ්ඩුකාරවරයා කීවේය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ තනි පුද්ගලයකුගේ වුවමනාවකට ඒ සියල්ල සිදුවී තිබූ බවත් හෙතෙම කීය.

පිළිගත නොහැකි මූලාශ්‍ර රැසක් පදනම් කරගනිමින් සකසා තිබූ එම වාර්තාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි කරුණු සහ අඩුපාඩු රැසක් තිබූ බව කී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ජීනිවා නුවරදී එම අඩුපාඩු සහ වැරැදි මහ කොමසාරිස්වරියට පෙන්වා දීමට හැකි වු බව ද පැවැසුවේය.

පසුගිය වසර හතරක කාලයේදී ශ්‍රී ලංකා යුද හමුදාව විනය විරෝධී හෝ නීති විරෝධී හෝ මානව හිමිකම්වලට විරුද්ධ ක්‍රියා කිසිවක් කර නැති බව ජීනිවා නුවරදී මානව හිමිකම් කවුන්සිලයට පෙන්වා දුන් බවත් ඒ බව මෙරට සිටින තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සංවිධාන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යවන විස්තරවලින් ද තහවුරු වූ බවත් ඔහු කීය.

ස්විට්සර්ලන්තයේ ජීනිවා නුවර පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකා නියෝජිත පිරිසට සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීමට හැකි වූ බව හෙතෙම වැඩිදුරටත් කීවේය.

බත්තරමුල්ල පළාත් ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් එම කරුණු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස