සජිත්ගේ සමගි බලේ ජාතිවාදීන්ගේ බළල් අතක්! රට බෙදන හැටි ප්‍රතිපත්ති ප්‍රකාශනයටම දාලා! – අගමැති මහින්ද

July 6, 2020 at 9:05 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, 2019 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට ‘ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට සීමාවක් නැත. එක්ව ගමන යමු.’ යන මැයෙන් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 15-16 පිටුවල ‘ජනතාවගේ ව්‍යවස්ථාව’ පිළිබඳ පරිච්ඡේදයේ, පහත දැක්වෙන යෝජනා ඇතුළත් විය.

* ඒකීය රාජ්‍යය සංකල්පය අතහැර “නොබෙදුනු හා වෙන්කළ නොහැකි රාජ්‍යයක්” ලෙස ශ්‍රී ලංකාව හැඳින්වීම.

* මධ්‍යම ආණ්ඩුව සතු බලතල උපරිම ලෙස පළාත් සභා වලට බෙදා හැරීම.

* පළාත් සභා නියෝජිතයන්ගෙන් සෑදුනු දෙවැනි මන්ත්‍රී මණ්ඩලයක් ඇති කොට මධ්‍යම ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) බලය තවත් සීමා කිරීම.

* පාර්ලිමේන්තුවේ මුදල් බලය අහෝසි කොට පළාත් සභාවලට ස්වාධීනව මුදල් රැස් කිරීමට ඉඩ හැරීම.

* දැනට මධ්‍යම ආණ්ඩුව යටතේ සිටින දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් පලාත් සභා යටතට පත් කිරීම.

* පළාත් සභා හා මධ්‍යම ආණ්ඩුව අතර ඇතිවන ආරවුල් විසඳීමට වෙනම ව්‍යවස්ථාමය අධිකරණයක් පිහිටුවීම.

2019 මුලදී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ සභාගත කළ නව ව්‍යවස්ථා කෙටුම්පතත්, සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ යෝජනාත් අතර කිසිදු වෙනසක් නැත. මේ රට බෙදා වෙන් කිරීමට නම් ජාත්‍යන්තරයට පෙනෙන ආකාරයට ඒකීය රාජ්‍ය නැතිනම් ‘යුනිටරි ස්ටේට්’ නමැති විශේෂ තාක්ෂණික අර්ථයකින් යුත් ඒ ඉංග්‍රීසි වදන අපේ ව්‍යවස්ථාවෙන් ඉවත් කළ යුතුමය.

මේ ආකාරයට රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයක් එළිපිටම බෙදුම්වාදී මූලධර්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත් කිරීම අතිශයින්ම බරපතල කාරණයකි. මේ ලියවිල්ල ඔවුන් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙමින් අතිපූජනීය මහා නාහිමිවරුන්ටත් අනුනාහිමි වරුන්ටත් පිළිගැන්වූයේ එහි අන්තර්ගතය ගැන උන්වහන්සේලාට පූරව දැණුම් දීමකින් තොරවය. යම් හෙයකින් මොවුන් පසුගිය ජනාධිපතිවරණය දිණුවේ නම්, ඒ බෙදුම්වාදී ප්‍රතිපත්තිය ඔවුන් ක්‍රියාත්මක කරන්නේ එයට මහජනතාවගෙන් ජනවරමකුත්, මහා සංඝරත්නයේ ආශිර්වාදයත් ලැබුණු බව කියමිනි.

2010දී, 2015දී සහ 2019දී පවත්වන ලද ජනාධිපතිවරණ වලදී ජනාධිපතිධුරයේ බලය අල්ලාගෙන රටේ බහුතර ජනතාව පාගා දමා, රට බෙදා වෙන් කිරීම සඳහා එකට එක්වූ දේශපාලනික මාර සේනාව එකම පිරිසකි. මුලින් එක්සත් ජාතික පක්‍ෂය සමඟ සිටි මේ පිරිස් අද “රනිල්ට සිංහල ඡන්ද ලබාගන්න බෑ, සජිත්ට පුලුවන්” යැයි කියමින් සමගි ජන බලවේගය වටා රොක් වී සිටී. මේ ගනුදෙනුවේ තමන්ගේ කොටස ඉටු කිරීම සඳහා පුලුවන් තරම් ඡන්ද ලබා ගැනීමේ අරමුණින් සමඟි ජන බලවේගය සෑම පවුලකටම රුපියල් විසිදාහක දීමනාවක්, වැනි පොරොන්දු දෙන හැටි අපට පෙනේ. මොවුන් ජනාධිපතිවරණය ජය ගැනීමට උත්සාහ කළේත් විවිධ දේවල් නොමිලේ ලබා දෙන බව කියමිනි.

යම්කිසි ජනවර්ගයක් නැති නම් ආගමක් මුල්කරගෙන ඇතිවන දේශපාලන පක්ෂ කරන්නේ තමන්ගේ ජනවර්ගයට හෝ ආගමට අයත් ජනතාවට පමණක් සලකා වෙනත් ජාති හා ආගම් වලට අයත් පිරිස් පිටස්තරයන් නැතිනම් හතුරන් හැටියට සැලකීමයි. මේ දේශපාලනය නිසා සිදුවිය හැකි භයානක ආනිසංශ අපි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් අත්දුටුවෙමු. යම්කිසි දේශපාලන පක්‍ෂයක් එක ජනවර්ගයකට හෝ ආගමකට අයත් ජනතාවගෙන් පමණක් ඡන්ද ලබාගැනීමෙන් ඔවුන්ද එක්තරා ආකාරයක දේශපාලන සිරකරුවන් බවට පත්වේ.

සහරාන් හසීම් නැමති අන්තවාදියා මඩකලපු දිස්ත්‍රික්කයේ අනුගාමිකයන් සුලු පිරිසක් හදාගත් පසු, ඒ ඡන්ද ප්‍රමාණය ලබාගැනීමට එම ප්‍රදේශයේ දේශපාලන පක්‍ෂ අතර තරඟයක් ඇති විය. එවිට අදාල දිස්ත්‍රික්කයට තරග කරන සියලුම අපේක්ෂකයන් ගෙන්වා ඔවුන් මත කොන්දේසි පැනවීමට පවා මේ අන්තවාදියාට හැකියාව ලැබුණි. මේ ආකාරයට අන්තවාදියා ජාතිවාදී දේශපාලන පක්ෂය පාලනය කරන අතර, ජාතිවාදී දේශපාලන පක්‍ෂය රටේ බලය හොබවන ජාතික දේශපාලන පක්ෂය පාලනය කරනු ලබයි. අවසානයේදී බලන විට ආණ්ඩුව වක්‍රාකාරයෙන් පාලනය කර තිබුණේ අන්තවාදීන්ය. යහපාලන ආණ්ඩුවට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වලක්වාගැනීමට නොහැකි වූයේද මේ දේශපාලනයට ඔවුන් නතු වී සිටි නිසාය.

1948 න් පසු ජී.ජී. පොන්නම්බලම් නිදහස් ලංකාවේ පළමු ආණ්ඩුවේ ඇමතිවරයෙකු වූ අතර ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙකු නොවුවත්, සේනානායකවරුන්ගේ සමීපතම දේශපාලන සගයෙකු විය. 1975 වන තෙක් ඇල්ෆරඩ් දොරෛයිඅප්පා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ බලකනුවක් විය. එක්සත් ජාතික පක්‍ෂෙය් ඒ.සී.එස්. හමීඩ්, එම්.එච් මොහොමඩ්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බදුයිදීන් මොහොමඩ්, අලෙවි මවුලානා වැනි නායකයන් එදා සිටියේය. මොවුන් සියලු දෙනාම දෙමළ හෝ මුස්ලිම් ප්‍රජාවන් නියෝජනය කළ අතර, එක්කෝ එක්සත් ජාතික පක්‍ෂයේ නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පතාක යෝධයන් විය. බහුතර ජනතාව පාගා දාමා තමන්ගේ ගොඩ පමණක් වැඩිකරගැනීමට උත්සාහ දරණ, මේ ගනුදෙනුකාරී, කප්පම්කාරී දේශපාලනය එකළ නොවීය. මේ විසකුරු දේශපාලන සංස්කෘතිය අද අපි දකින තැනට වර්ධනය වී ඇත්තේ මෙතෙක් එයින් අදාල අයට විශාල ප්‍රතිලාභ ලැබුණු නිසාය.

මේ දේශපාලනය 2019 ජනාධිපතිවරණයේදී ජනතාව පරාජය කළේය. මේ රටේ ජාතීන් හා ආගම් අතර මීට කළකට පෙර තිබුණු ආකාරයේ සමඟියක්, අනෝන්‍ය සහයෝගයක් යළි ඇති කිරීමට නම්, පටු ජාතිවාදී දේශපාලනයෙන් ප්‍රතිලාභ අත් නොවෙන තත්වයක් ඇතිවිය යුතුය. එවිට, තරුණ පරපුර අතරින් නැවතත් පොන්නම්බලම්ලා, දොරෛයිඅප්පලා, හමීඩ්ලා, මවුලානලා මේ රටේ බිහිවෙනු ඇත. පටු ජාතිවාදයටත් කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේදී දුන් ජනවරමටත් වඩා ප්‍රබල ජනවරමක් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට ලබාදෙන මෙන් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස