වී හංගලා රට්ටු හූරං කන්න තවත් ඉඩ නෑ! සහල් මෝල් අත්‍යවශ්‍ය සේවා බවට පත්කෙරේ!

April 10, 2020 at 1:42 pm | by emanisa.lk

පවතින හදිසි තත්ත්වය හමුවේ සහල් හිඟයක් ඇති නොවීම සඳහා සහල් නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රධාන පෙළේ සියලු වී මෝල් නොකඩවා විවෘතව තැබීමටත් ඒවා අත්‍යවශ්‍ය සේවාවක් බව⁣ට පත්කරලීමටත් රජය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවේ දී මෙම තීරණය ගෙන ඇත.

මේ වන විට ජනතාවට අවශ්‍ය තරම් වී තොග තිබෙන බැවින් කිසිඳු අවස්ථාවක රට තුළ සහල් හිඟයක් පැන නොනඟින බවත් ඇති වී තිබෙන හදිසි තත්ත්වය හමුවේ වෙළෙඳපොළ තුළ හිඟයකින් තොරව සහල් නිෂ්පාදනය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය අනුව වී මෝල් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

ධීවර ක්ෂේත්‍රයේ ඇති ගැටලු ගැන මෙහිදී අවධානය යොමු වූ අතර ධීවර සංස්ථාව සමඟ සාකච්ඡා කර වහාම එම ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙස අගමැතිවරයා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දෙනු ලැබිණ.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම, ඖෂධ බෙදා හැරීම පිළිබඳව මෙන්ම ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටින ජනතාව සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමේ වැඩපිළිවෙළක් දියත් කිරීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස